දේශපාලන

සමගි ජන බලවේගය නාමයෝජනා සඳහා සම්මුඛ පරීක්ෂණ අරඹයි

සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාගැනීමේදී එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට ගැටළුවක් මතුවන බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටියි. එයට හේතුව වී ඇත්තේ පක්ෂයේ ලියාපදිංචියේ ගැටළුවක් පැවතීමයි.

එහිදී ඔහු සඳහන් කළේ “එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අවසර ලබා දුන්නේ සන්ධානයක් ගොඩ නැගීමටයි. නමුත් එම සන්ධානය අද පක්ෂයක් බවටයි ලියාපදිංචි කරලා තියෙන්නේ. එතන පොඩි ගැටලුවක් තියෙනවා. ” යනුවෙනි.

සියළු පාර්ශ්ව එක් කර ගැනීම සඳහා තවදුරටත් කටයුතු කරන බවයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

කෙසේ වෙතත්, මේ වන විට, එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශවය ලෙස දැනටමත් මහ මැතිවරණය සඳහා වෙන් වෙන්ව නාමයෝජනා මණ්ඩල ද පත් කර තිබෙනවා.

සිය පාර්ශ්වයෙන් නාමයෝජනා මණ්ඩලයක් පත් කර ඇති බවත් නාමයෝජනා භාර දීමට කැමති අයට මේ වන විට ඊට අවස්ථාව පවතින බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි. එසේම, ඔවුන් ඡන්දයට ඉදිරිපත්වෙන බව මැතිවරණ කොමිසමට මේ වන විටත් ලිඛිතව දැනුම් දී ඇති බවත් පෙන්වාදෙයි.

සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාගැනීමට අපේක්‍ෂා කරන සියළු දෙනා වෙනුවෙන් සම්මුඛ පරීක්‍ෂණ පවා ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ මේ වන විට ද නාමයෝජනා අයදුම්පත් රැසක් ද ලැබී ඇති බවයි.

එමෙන්ම, හංසයා ලකුණ සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් එම ගැටළුව විසදා ගත නොහැකි වුවහොත් පොදු ලකුණකින් තරඟ වදින බවත් ඔහු පවසයි.

තවද, සමගි ජන බලවේගය යටතේ යම් යම් චෝදනා එල්ල වී ඇති, වැරදි වැඩ කරන සහ සමාජ විරෝධී වැඩ කර ඇති කිසිවෙකුටත් නාමයෝජනා ලබා නොදෙන බවත් පූජ්‍ය පක්ෂයටත් නාමයෝජනා ලබා දීමට කටයුතු නොකරන බවත් ඔහු අවධාරණය කර සිටියි.

Rivira FB Group Rivira Youtube
To Top