විදේශ

භූතානයෙන් පළමු කොරෝනා වෛරසය ආසාදිත රෝගියා වාර්තා වෙයි

හිමාලයේ හුදකලාව පවතින්නා වූ භූතාන රාජධානියෙන් පළමු නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියා වාර්තා වේ. ඒ. ඇමරිකානු ජාතික 76 හැවිරිදි සංචාරයෙක් වේ. ඔහු මාර්තු 02 වන සඳුදා දින ඉන්දියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව භූතානයට පැමිණ ඇති අතර එහිදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර තිබුණේ නැත. නමුත්, පසුව මාර්තු 05 වන බ්‍රහස්පතින්දා දින උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිව රෝහල්ගත කර ඇති අතර කරන ලද පරීක්ෂණවලදී ඔහුට කෝවිඩ් 19 නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

එම පුද්ගලයා තම 59 හැවිරිදි සහකාරිය සමග පෙබරවාරි 18 වෙනිදා වොෂින්ටන් නුවරින් පිටත්ව ඉන්දියාවට පැමිණ ඇති අතර ඔවුන් පෙබරවාරි 21 වෙනිදා සිට මාර්තු 1 වෙනිදා දක්වා ඉන්දියාවේ සංචාරය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට සෞඛ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ මඟ පෙන්වන්නා සහ රියදුරු ඇතුළුව තවත් පුද්ගලයන් 90ක පමණ මේ වන විට පරීක්ෂා කර ඇති නමුත් ඔවුන් කිසිවෙකුත් එම රෝග ලක්ෂණ නොපෙන්වයි.

මෙම සිද්ධීයත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි භූතානය විසින් විදේශ සංචාරකයින් සඳහා තම දේශ සීමාවන් සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට කටයුතු කර ඇත. එසේම, භූතානයට පැමිණි ඉන්දිය ජාතිකයන් 8 දෙනෙකු ද නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කර ඇත.

මේ වන විට, ලොව පුරා පුද්ගලයන් 97,852 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර පුද්ගල මරණ 3300ක් වාර්තා වේ. චීනයේ මේ වන විට නව හඳුනාගත් රෝගීන් ගණන 143ක් වන අතර මරණ 30ක් වාර්තා වී ඇත. දකුණු කොරියාවේ නව රෝගීන් 518ක් හඳුනාගෙන ඇති අතර මුළු රෝගීන් ගණන 6300ක් සහ මෙතෙක් මරණ 42ක් වාර්තා වේ. ඇමරිකා එක්සත් ජනපදයෙන් මරණ 12ක් වාර්තා වී ඇති අතර මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙය “සරඹයක්” නොවන බවත් වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පරිදි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් රජයන් වෙත අනතුරු අඟවා ඇත. ලොව පුරා මහජන සෞඛ්‍ය බලධාරීන්ට වෛරසය පැතිරීම සාර්ථකව මර්දනය කිරීමේ හැකියාව තිබුණද, සමහර රටවල දේශපාලන කැපවීමේ මට්ටම පවතින මට්ටමට නොගැලපෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top