දේශපාලන

මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා – අගමැති

දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවත් මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා 06වැනි සිකුරාදා දින ප්‍රකාශ කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ එදින පැවති මාධ්‍ය වේදීන්ගේ හමුවක දී අදහස් දක්වමින් ය. වැඩිදුරටත් ඒ පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය ද 19වන සංශෝධනයේම ප්‍රතිඵලයක් බවයි.

මේ අතර, ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයාද මෙවර මහමැතිවරණයට පොදුජන පෙරමුණ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බවත් අගමැතිවරයා එහිදී තහවුරු කර සිටියේ ය. එසේම, පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසුව හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණයට යාමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා එහි දී සඳහන් කළේය.

ඇමතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, අජිත් නිවාඩ් කබ්රාල් සහ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද එම සාකච්ඡාවට සහභාගී වූහ.

Rivira FB Group Rivira Youtube
To Top