එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය වෙන් වෙන්ව මහමැතිවරණයට ඉදිරිපත් වුවහොත් ලැබීමට නියමිත දැවැන්ත පරාජය හමුවේ එම තීරණය හකුලා ගැනීම සම්බන්ධයෙන් සජිත් පිලේ එජාප පාර්ශවය අතර කතිකාවක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. සජිත් පිලේ එජාප සාමාජිකයින් නොවන, චම්පික රණවක, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් වැනි කණ්ඩායමක් දිගින් දිගටම කියා සිටින්නේ සමගි ජන බලවේගය වෙනම මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු බව වුවත් සජිත් පිල නියෝජනය කරන එජාප මන්ත්‍රීවරුන් දිගින් දිගටම කියා සිටින්නේ පාක්ෂිකයින් වෙන් වීමට අකමැති බවයි. එබැවින් වහාම කුමන එකඟතාවයක් මත හෝ එක්ව තරඟ කිරීම පිළිබඳ තීරණය ගත යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.
හිටපු තරුණ කැබිනට් අමාත්‍යවරයෙකුගේ කොළඹ නිවසක පැවති සාකච්ඡාවක දී සජිත් පිලේ එජාප කණ්ඩායම මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී. එම ආරංචි මාර්ග පවසන්නේ සජිත් ප්‍රේමදාස යම් රැවටීමකට ලක් කිරීමට එජාප නොවන පිරිස් කටයුතු කරමින් සිටින බවට තමන්ට සැකයක් ඇති බව එහි දී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම කියා සිටි බවයි. ජය ලැබීමෙන් අනතුරුව විපක්ෂ නායකධූරය පවා වෙනත් අයෙකු විසින් ලබා ගැනීමේ සූදානමක් ඇති බවට තමන් සැකකරන බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ ශ්‍රීලනිපයට අත්වූ ඉරණම එජාපයට අත්කර දිය යුතු නැති බවයි. එසේම පොදුජන පෙරමුණ මෙන් සමගි ජන බලවේගය ශක්තිමත් නොවන බවද ඔවුන්ගේ අදහස වී තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ සමගි ජන බලවේගය වෙනත් පක්ෂ ක්‍රියාකාරීන් බහුතරයක් සිටින එජාප ක්‍රියාකාරීන් අඩුවෙන් සිටින පක්ෂයක් වීම නිසායි. මේ තත්වය පිළිබඳ වහාම හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා කිරීමට ඔවුන් තීරණය කර තිබෙන අතර එජාප පාර්ශවය සමග එකඟතාවයකට පැමිණීම සඳහා සාකච්ඡා මෙන්ම මාධ්‍ය මෙහෙයුමක් ද දියත් කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ එජාප නායකත්වය වෙනස් නොකරන්නේ නම් නායකත්ව බලතල කරූ ජයසූරියට පැවරීම වැනි තීරණයක් හෝ ගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ පෙළඹවිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මෙහෙයුමක් කර එවැනි තීරණයක් ගැනීමට රනිල් වික්‍රමසිංහ පෙළඹවීමට අවශ්‍ය කාර්ය බාර්ය එජාපයේ මාධ්‍ය මෙහෙයුම් සම්බන්ධ නමක් ඇති ජ්‍යෙෂ්ට දේශපාලනඥයෙකුට බාර දීමටද තීරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය තුළද මේ වන විට එක්ව ගමනක් යා හැකිදැයි සළකා බලමින් සිටින බව වාර්තා වේ. ඔවුන්ටද අවශ්‍ය වී ඇත්තේ එජාපය බිඳ දැමීමේ ක්‍රියාවලිය වෙනුවට එජාපය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියකට මෙවර යොමු වීමටයි. එහෙත් සමගි ජන බලවේගය හා එක්ව තරඟ කිරීම එජාපයේ සියළු දෙනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් පවසන්නේ “ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය” නමින් සන්ධානයක් ශ්‍රීලනිපය හා පොහොට්ටුව ගොඩ නැගුවද ඔවුන් තරඟ කරන්නේ “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” යටතේ “පොහොට්ටුව” ලකුණින් බවයි. එලෙසම සමගි ජන බලවේගය නමින් සන්ධානයක් ගොඩනැගුවද තරඟ කළ යුත්තේ “එක්සත් ජාතික පක්ෂය” යටතේ “අලියා” ලකුණින් බවයි.
මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හංසයා ලකුණින් තරඟ කළ යුතු බව කරූ ජයසූරියගේ නිවසේ පැවති සාකච්ඡාවකදී යෝජනා වී තිබෙනවා. එහෙත් එම ලකුණ සමගි ජන බලවේගයට ලබා දීමට නම් මහලේකම්ධූරය වෙනස් කළ යුතු බවට කොන්දේසියක් දමා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියා සිටී. හංස සන්ධානය යටතේ කිසිඳු අවාසියකින් තොරව එජාපයේ පාර්ශව දෙකටම නාම යෝජනා ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ හැකි බව එහිදී සාකච්ඡා වී තිබෙනවා. එහෙත් හංසයා ලකුණ සමගි ජන බලවේගයට කොන්දේසි විරහිතව ලබාදුන්නොත් එජාප පාර්ශවයට ඉන් අවාසියක් විය හැකි බවත් ඇතැමුන්ට නාම යෝජනා පවා ලබා නොදීමට ඉඩ ඇති බවත් සාකච්ඡා වූ බව වාර්තා වේ.
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිතවත් ආරංචි මාර්ග කියා සිටින්නේ මේ වන ඔහුද එක්ව තරඟ කිරීම පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කරන බවයි. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ නැවත මෙරටට පැමිණි පසු අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

