2020 මහමැතිවරණය

රනිල් අලියාගෙන්, සජිත් දුරකතනයෙන් එන බව ස්ථිරයි, සජබයත් සිය තීරණය මැකොට දන්වයි

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන්, රංජිත් මද්දුම බණ්ඩාරගේ මහලේකම්ධූරයෙන් හා චම්පික රණවකගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක සමගි ජන බලවේගය, 2020 අප්‍රෙල් 25 මහ මැතිවරණය සඳහා “දුරකතනය” ලකුණින් තරඟ කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිවරණ කොමිසමට ලිඛිතවම දැනුම් දී තිබේ.

ඒ අනූව එම පක්ෂය දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 ටම තරග කිරීමට නියමිත බව එම ලිපියේ සඳහන්.

සජබයේ ආරංචි මාර්ග පවසන පරිදි සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂය මේ වන විට නාමයෝජනා මණ්ඩලයක් ද පත්කර තිබෙන අතර නාම යෝජනා සඳහා අයදුම්පත් බාර ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය “අලියා” ලකුණින් දිස්ත්‍රික්ක 22 සඳහාම තරඟ කරන බව තහවුරු කර තිබේ. එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ පක්ෂයට ආදරය කරන පිරිස් පක්ෂය හැර නොයන බවයි. මහමැතිවරණයට අදාළ නාම යෝජනා බාර ගැනීම මාර්තු මස 13 වැනි අවසන් කිරීමට නියමිත බවත් මාර්තු මස 16 දින වන විට දිවයින පුරාම නාම යෝජනා ලැයිස්තු නිම කිරීමට අපේක්ෂා කරන බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ එජාපය නියෝජනය කරන සියළු දෙනාට ඔවුන්ගේ ඉල්ලීම මත නාම යෝජනා ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටී. ඊට අමතරව ආසන සංවිධායකවරුන්, පළාත් සභා නියෝජිතයින්, පුරපතිවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු පිරිසකටත් සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසකටත්, සහයෝගය දක්වන අනෙකුත් දේශාපලන පක්ෂ නියෝජිතයින්ටත් නාම යෝජනා ලැබෙනු ඇති බව එජාප ආරංචි මාර්ග කියා සිටී.

Rivira FB Group Rivira Youtube
To Top