ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස පහළ යමින් තිබෙන අතර මාර්තු 9 දින වන විට බැරලයක මිල ඇමරිකානු ඩොලර් 35ක් පමණ අගයක් දක්වා පහත ගොස් තිබිණි.
1991 වසරෙන් පසු දිනක් තුළ බොරතෙල් බැරලයක මිල පහත වැටුනු වැඩිම ප්‍රතිශතය මාර්තු 9 දින වාර්තා විය. එය 30%ක පමණ අගයකි. ලොව තෙල් සැපයුම වැඩිම රටක් වල සෞදි අරාබිය තෙල් මිල පහත දැමීම මෙම තත්වයට හේතු වී තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මෙම තත්වය තුළ ශ්‍රී ලංකාවේ රජය පෙට්‍රල් හා ඩීසල් මිල අඩු නොකිරීම ද බොහෝ දෙනාගේ අවධානයට ලක්වී තිබෙන කරුණකි. හිටපු මුදල් ඇමති මංගල සමරවීර ට්විටර් පණිවුඩයක් යොමු කරමින් කියා සිටින්නේ ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස සිට ඔහු ඉදිරිපත් කළ මිල සූත්‍රය ක්‍රියාත්මක වූවා නම් පෙට්‍රල් ලීටරයක් රු. 117කට සහ ඩීසල් ලීටරයක් රු. 84කට ලබා දෙන බවයි.
බොරතෙල් මිල පහළ යාමත් සමග එම වාසිය ජනතාවට ලබා දීමට රජයේ අවධානය යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් ඊට අදාළව කැබිනට් මණ්ඩලයද දැනුවත් කිරීමට සූදානම් බවත් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියා.
එහෙත් ඉක්මණින්ම මිල පහළ යාමේ වාසිය ලබා දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරංචි මාර්ග කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාව පසුගිය මාස කිහිපය තිස්සේම ඉන්ධන මිල එකම මට්ටමේ පවත්වාගෙන ඒම හේතුවෙන් විශාල පාඩුවක් ලබා ඇති බවයි. වැඩි කළ යුතු අවස්ථා කිහිපයකම ඉන්ධන මිල වැඩි නොකර සිටිම රජයේ තීරණයක් ලෙස ක්‍රියාත්මක වුවද ලෝක වෙළඳපොලේ මිල වෙනස් වීම සංස්ථාවේ ලාභයට ඍජුව බලපාන අයුරින් ක්‍රියාත්මක කළ මිල සූත්‍රය හරහා නියම කළ මිලක් රජය විසින් පවත්වාගෙන ඒම ඊට හේතු වී ඇති බවද පෙන්වා දුන්නා.
නව තත්වයත් සමග එම පාඩුව යම් තරමකින් හෝ පියවා ගැනීමට රජය කටයුතු කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. එහෙත් ජනතාවටද එහි වාසිය ලැබෙන අයුරින් මිල ද අඩු කරමින් තවත් කාලයක් ස්ථාවර මිලක් පවත්වා ගැනීම වෙනුවෙන් සුදුසු මිලක් තීරණය කළ යුතු බව ඔවුන් පෙන්වා දුන්නා.
ඔවුන් පවසන්නේ ඔවුන්ගේ ගණන් මිනුම්වල හැටියට පෙට්‍රල් ලීටරයක් රු. 130කටත් ඩීසල් ලීටරයක් රු. 100කටත් ලබා දීම සුදුසු බවයි. එය ඉදිරි මාස 3ක් පමණ අඛණ්ඩව පවත්වාගත හැකි මිලක් වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

