ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයෙක් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාගාරය අසලදී “ටයරයක් වැදීමෙන්” බරපතල ලෙස තුවාල ලබා මාර්තු 06 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කළමනාකරණ පීඨයට අලුතින් ඇතුළත් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පසිඳු හිරුෂාන් නමැති ශිෂ්‍යයෙකි.
කළමනාකරණ පීඨයේ නවක සිසුන් පිළිගැනීමේ කාලසීමාව අවසන් වීම වෙනුවෙන් අදාළ සාදය මාර්තු 5 වැනිදා පවත්වා ඇති අතර සාදය අවසන් වූ පසුත් සිසුන් කිහිප දෙනෙකු තවදුරටත් එම අවස්ථාව විඳිමින් සිට තිබෙන බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියා සිටී. එම අවස්ථාවේ පළමු වසර සිසුන්ට අමතරව සාදය සංවිධානය කළ දෙවන වසර සිසුන් ඇතුළු කිහිප දෙනෙකුද සිටි බවද සඳහන්. සාදය පැවති ස්ථානයේ ක්‍රීඩාගාරය පිහිටා තිබෙන අතර එම ක්‍රීඩාගාරය තුළත් ඉන් පිටතත් සිසුන් රැඳී සිට තිබෙන බව ආරංචි මාර්ග කියා සිටී. ඒ අතරින් සිසුන් කිහිප දෙනෙක් ඉහළ මාලයේ පිහිටි ක්‍රීඩාගාරය තුළත් සිට ඇති බව පැවසෙන අතර පහළ තවත් පිරිසක් සිට ඇති බව පැවසෙයි.
“අළුයම 1ත් 2ත් අතර එක් වරම ඉහළ මාලයේ සිට තරප්පු පෙළ ඔස්සේ ටයරයක් පැමිණ ඇති” බවත් එම ටයරය අදාළ ශිෂ්‍යයාගේ ඇඟේ වැදී ඔහු බිම ඇද වැටී ඇති බවත් ඒ අසල සිටි ශිෂ්‍යයින් ප්‍රකාශ කර සිටී. එම අවස්ථාවේ සිසුන් හා ආරක්ෂක අංශ එක්ව සිසුවා වහාම කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එම රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබෙනවා. බිම වැටීමෙන් ශිෂ්‍යාගේ හිසට බරපතළ හානි සිදු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තරප්පු පෙළ දිගේ ටයරයක් ආවේ කෙසේද යන්න මෙතෙක් නිල වශයෙන් සොයාගෙන නැති අතර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී. එක් පාර්ශවයක් චෝදනා කර සිටින්නේ ටයරය සිතා මතාම එවන ලද බවත් එය නවක වදයේ කොටසක් ලෙස සිදුවූ බවත් තමන් විශ්වාස කරන බවයි. තවත් පිරිසක් කියා සිටින්නේ කවුරුන් විසින් හෝ බීමතින් සිටි අයෙකු අනතුරක් විය හැකි බව නොසිතා සිදුකළ ක්‍රියාවක් බවයි. තවත් පිරිසක් කියා සිටින්නේ එය කුමක් හෝ නිසා සිදුවූ හදිසි අනතුරක් බවත් කිසිවෙකු සිතාමතා සිදුකළ යමක් නොවන බවත් ඔවුන් විශ්වාස කරන බවයි.
මීට හාත්පසින්ම වෙනස් කතාවක් කියන පිරිසක්ද සිටී. ඔවුන් පවසන්නේ අදාළ සිදුවීම යතුරුපැදි අනතුරක් නිසා සිදූවූවක් බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විනයභාර නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වෙන අතර එම පරීක්ෂණ වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ප්‍රකාශ කළේය.
කෙසේ හෝ මෙම සිදුවීම අරඹයා සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියටම සමාජ ජාලා ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබෙනවා. එබැවින් වහාම බලධාරීන් විසින් නිසි විමර්ශනයක් සිදුකර සත්‍ය සිදුවීම රටට හෙළිදරව් කළ යුතුව තිබෙනවා.

