ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානය යන රටවලින් පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 622කු නිරෝධායනය සදහා මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයට සහ පොළොන්නරුව කන්දකාඩු වෙත යොමු කර ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කියා සිටී. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා යුධ හමුදාව එක්ව සුඛෝපභෝගී බස් රථ 25 ක් පමණ යොදාගෙන ඇති බවද කියා සිටී.
නිරෝධායන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මාර්තු 11 බදාදා දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් විය. මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියා සිටියේ කොවිඩ්-19 වෙතින් රටවැසියන් ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකිකයන් වශයෙන් සියලුම දෙනා රජයට සහය ලබා දිය යුතු බවයි.
රට තුළට පැමිණෙන පිරිස් සඳහා සිදුකරන නිරෝධායන ක්‍රියාවලිය සඳහා සහය ලබා නොදෙන පිරිසට නැවතත් ඔවුන් පැමිණි රටවලටම ආපසු යා හැකි බවත් එලෙස යැවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය. එම ක්‍රියාවලිය සිදුකරන්නේ ඔවුන්ගේ පවුලේ අයද ඇතුළු රටේ මිලියන 21 ක් වූ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් බවත්, ජාතික ආරක්ෂාවේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත පැවරී ඇති බවත් මෙවැනි අවස්ථාවක රජයේ නිරෝධායන ක්‍රියාවලියට සහය නොදක්වන පිරිසට එරෙහිව කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදනය ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.
වෛරසය පැතිරීම ඉහළ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සියළු දෙනා, මෙම රෝගය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා අනිවාර්යෙන්ම දින 14ක කාලයක් නීරෝධායන ක්‍රියාවලියකට ලක් කළ යුතු බවට රජය විසින් තීරණය කර සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
විදේශීය ශ්‍රමිකයින් ඇතුළු සියළුම දෙනා යළි මෙරටට පැමිණෙන්නේ නම් ශ්‍රී ලංකාවේ නීතියට අනුව කටයුතු කළ යුතු බව ඔවුන් මතක තබා ගත යුතු බව අවධාරණය කළ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එම පිරිස රැක බලා ගැනීමේ වගකීම හමුදාවට ඇති බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුවන් තොටුපළ අධ්‍යක්ෂවරයා කියා සිටියේ මාර්තු 11 දින රාත්‍රී 8 වනවිටත් අදාළ රටවලින් පැමිණි ගුවන් මගීන් 50ක පමණ පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරමින් සිටින බව අනාවරණය කළේය. තමන්ට කඩිනමින් තම නිවෙස් කරා යෑමට අවසර ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලීම් කරමින් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ල තුළ විරෝධතා පවත්වමින් සිටින බවද ගුවන් තොටුපළ අධ්‍යක්ෂවරයා කියා සිටී. කෙසේ වෙතත් මේ පිළිබඳව මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන තෙක්ම, නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් වී නොතිබීම නිසා, මෙවැනි ගැටුම්කාරී තත්වයක් කටුනායක ගුවන් තොටුපළ තුළ නිර්මාණය වී ඇති බව ද ෂෙහාන් සුමනසේකර පෙන්වා දුන්නේය. මෙම ක්‍රියාවලිය මගින් ගුවන් මගීන්ට මෙම රෝගය ආසාදනය වී තිබෙනවාද නැද්ද යන්න අනාවරණය වන බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා කියා සිටියේ ඔවුන්ගේ දරු පවුල් සහ සමස්ථ රටේ ජනතාව ද මෙම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීමට ඉන් හැකියාව ලැබෙන බවයි.

