කොවිඩ්-19

රට තුළ වෛරස් ආසාදිතයින් ඉහළ යාමත් සමග රජයෙන් විශේෂ තීරණ රැසක්

කොවිඩ්-19 ලෝක වසංගත තත්වය ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කිරීම ආරම්භ වීමත් රජය විශේෂ තීරණ රැසක් ගෙන තිබෙනවා. මාර්තු 14 රාත්‍රී 10 වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 11ක්. ඉන් මුලින්ම වාර්තා වූ චීන ජාතික කාන්තාව පමණක් සුවය ලබා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මේ සමගම මාර්තු 16 සඳුදා දිනය රජයේ හා පෞද්ගලික අංශයට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පියවරගෙන තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් එම තීරණය ගෙන තිබෙනවා.

මීට අමතරව පුද්ගලයින් රැස්වී සිදුකරනු ලබන ප්‍රසිද්ධ රැස්වීම්, සම්භාෂණ ඇතුළු සියලු ආකාරයේ ප්‍රසිද්ධ උත්සව දින 14කට තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එවැනි රැස්වීම් සඳහා අවසර නොදෙන ලෙස පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.

පෞද්ගලික සාද ඇතුළු උත්සවද සති දෙකක කාලයක් යන තුරු පැවැත්වීමෙන් වළකින ලෙස රජය ඉල්ලා සිටිනවා.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යාන මහජනතාවට විවෘත නොකිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මීට අමතරව රිදියගම සෆාරි උද්‍යානය ද මාර්තු 15 සිට සති දෙකක කාලයක් සඳහා ජනතාවට විවෘත නොකිරීමට ද තීරණය කර තිබෙනවා.

ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලාද මාර්තු 14 සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියා. විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත අදාළ පියවර ගෙන තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top