කොවිඩ්-19

ආසාදිතව බව දැනගෙන කට්ටි පැන්න ගල්කිස්සේ මැණික් මුදලාලිටත්, බිරිඳටත් වැඩ වරදී

ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණීමෙන් පසු කොවිඩ්-19 වැළඳී ඇති බවට සැක පිට ස්ව කැමැත්තෙන්ම අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට පැමිණ රෝහල්ගත වූ ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය ආසාදිත බව මීට පෙර හඳුනාගනු ලැබුවා. ඔහු විසින්ම පැමිණ රෝහල්ගත වී ප්‍රතිකාර සඳහා යොමු වීම නිසා රෝගය පැතිරීමට තිබූ විශාල ඉඩක් මගහැරී ගොස් තිබුණා.

එහෙත් ඔහු සමගම අදාළ සංචාරයට එක්වූ තවත් පුද්ගලයෙකු අමතා ඉහත කී පුද්ගලයා දැනුම් දී ඇත්තේ තමාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බැවින් ඔහුටද වහාම රෝහල්ගත වන ලෙසයි. එහෙත් ඔහුගේ ඇමතුම මගහැර ඇති අදාළ පුද්ගලයා පසුව සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ ලබාදුන් ඇමතුම්ද මග හැර තිබෙනවා. සමහර ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔහුගේ බිරිඳයි. ඉන් පසු ඔහු පෞද්ගලික වෛද්‍යවරයා වෙත ගොස් පරීක්ෂා කිරීමේදී ඔහුද උපදෙස් දී ඇත්තේ වහාම රෝහල්ගත වන ලෙසයි. එයද පැහැර හැර ඇති අදාළ පුද්ගලයා පසුව පෞද්ගලික රෝහලක් වෙත ගොස් පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

කොවිඩ්-19 පරීක්ෂාවන් සිදු නොකරන ලෙසට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂ නියෝගයක් නිකුත් කර තිබියදීත් අදාළ රෝහලෙන් එම පරීක්ෂණය සිදුකර තිබෙනවා. එම රෝහලෙන් අදාළ වාර්තාව ලැබීමට දින 3ක් ගත වී ඇති අතර එතෙක් අදාළ පුද්ගලයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මග හරිමින් සිට තිබෙනවා. පසුව අදාළ පෞද්ගලික රෝහලෙන් වාර්තාව ලැබුණු පසු රෝගය වැලඳී ඇති බව තහවුරු කරගත් පසුවද රෝහල්ගත වීමෙන් වැළකී තිබෙනවා. ඒ කාලය තුළ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ඔහුව බියට පත් කර ඇති අතර එයින් බියට පත්වූ පුද්ගලයා පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙන බව මාර්තු 16 පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කර සිටියා.

පසුව එම රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අදාළ පුද්ගලයාව අංගොඩ රෝහලට මාරු කර එවා ඇති අතර එහිදී අදාළ රෝගියා ආසාදිත බව නැවත තහවුරු කරගෙන තිබෙනවා. මේ වන විට ඔහුගේ බිරිඳ හා දේපළ නිරෝධායනයට ලක්කරමින් ඇති බව ඔවුන්ට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුතු ආරම්භ කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අනාවරණය කළා.

අදාළ පුද්ගලයා ධනවත් මැණික් ව්‍යාපාරිකයෙකු බවද හෙළි වී තිබෙන අතර ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ හා වසංගත රෝග ආඥාපනත යටතේ ඔවුන්ට නඩු පවරා තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top