මාර්තු 17 අඟහරුවාදා සිට 19 වන බ්‍රහස්පතින්දා දක්වා දින තුනක නිවාඩුවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති. මෙම නිවාඩුව පෞද්ගලික අංශයටද ලබාදෙන ලෙස රජය පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටී.
කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කිරීමේ කටයුතු සඳහා මහමැතිවරණය බාධාවක් වුවහොත් මහමැතිවරණය කල් දැමීමට රජය කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
මාර්තු 16 දින රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා. කිසිසේත්ම මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවයක් පැමිණියහොත් එය සිදු නොකර සිටීමේ අදහසක් රජයට නැතැයිද ඔහු කියා සිටියා.
වෛරසය මැඩලීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය මාර්තු 17 දින රැස්වීමට නියමිත බවත් එහිදී එම අවශ්‍යතාවය පිළිබඳ සළකා බැලෙනු ඇති බවත් ඔහු සඳහන් කළා.
මේ වන විට සමාජ මාධ්‍ය තුළ ශ්‍රී ලංකාව වසා දමන ලෙස ඉල්ලමින් හෑෂ් ටැග් ව්‍යාපාරයක් දියත්ව තිබෙනවා. #LockDown_SL යටතේ මේ වන විට බොහෝ දෙනෙකු සටහන් තබා ඇති අතර ගිණුම් ඡායාරූපයද වෙනස් කරමින් රට වසා දමන ලෙස ඉල්ලීම් මතු වෙමින් තිබෙනවා. පැය කිහිපයක් තුළ දහස් ගණනක් ඒ සඳහා දායක වී තිබීමද විශේෂත්වයක්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෛරසය පාලනය සඳහා වරාය හා ගුවන්තොටුපළ වසා දමා නිරෝධායන ක්‍රියාවලියකට ගමන් කළ යුතු බවට ප්‍රකාශ කිරීමත් සමග එම මතය සමාජ ගත වී තිබෙනවා.

