,
Covid-19

රට අක්‍රීය වීමෙන් එදා වේල අහිමි වූ ජනතාවට ජනපතිගෙන් සහන රැසක්

කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා ‍දිවයිනට බලපාන පරිදි රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයටම බලපාන ලෙස රජය ලබා දී තිබෙන සිව් දින නිවාඩුව හේතුවෙන් එදිනෙදා සිදුකරන ව්‍යාපාරික කටයුතු තුළින් උපයාගෙන ජීවත් වන ජනතාව දැඩි අසීරුවකට පත් ව තිබෙනවා.

මේ තත්වය සැළකිල්ලට ගනිමින් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය සියළු ජනතාවට, විශේෂයෙන්ම එදාවේල අහිමි වූ ජනතාවට සහන සැළසෙන ලෙස ලබා දීමට රජය වහාම පියවර ගෙන තිබෙනවා.

මාර්තු 17 රාත්‍රීයේදී කොරෝනා වසංගතය තත්වය හේතුවෙන් රටේ ඇති වී තිබෙන තත්වය ගැන පැහැදිලි කිරීමට ජාතිය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ වහාම පරිප්පු කිලෝ එකක උපරිම මිල රු.65ක් දක්වාත්, සැමන් ටින් එකක උපරිම මිල රු.100ක් දක්වාත් වහාම අඩු කරන ලෙස තමන් නියෝග කළ බවයි.

එමෙන්ම නිවාඩු ලබා දීම හරහා සාමාන්‍ය ව්‍යාපාරිකයින් දැඩි අසීරුවකට පත්ව ඇති බැවින් බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබා දී තිබෙන ණය අය කිරීම මාස 6කට අත්හිටුවීමටද ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.

එමෙන්ම වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ තීරණය පැසසුමට ලක් කරන ආර්ථික විශේෂඥයින් පවසන්නේ මේ මොහොතේ රටට නිවාඩු ලබා දී තිබෙන මොහොතක තෙල් මිල අඩු කරනවාට වඩා අත්‍යවශ්‍ය ආහාර මිල අඩු කිරීම, රටකට ගත හැකි විශිෂ්ඨතම තීරණයක් බවයි.

යම් හෙයකින් මෙවැනි භාණ්ඩ අඩු නොකර තෙල් මිල අඩු කිරීමට පියවර ගත්තේ නම් ඊට සාපේක්ෂව අඩු විය යුතු බේකරි නිෂ්පාදන, බස් ගාස්තු හෝ සමස්ථ භාණ්ඩ මිල අපේක්ෂිත අයුරින් පහළ නොයන බවත් එහි ලාබය නිශ්චිත ව්‍යාපාරිකයින් කොටසකට පමණක් හිමිවන බවත් පෙන්වා දුන්නේය. එබැවින් දුප්පත් සහ මධ්‍යම ආදායම් ලබන පුද්ගලයින්ට අත්‍යවශ්‍ය ආහාර වන පරිප්පු හා සැමන් මිල මෙතරම් ඉහළ මිලකින් අඩු කිරීම ජනාධිපතිවරයා මේ මොහොතේ ගත් විශිෂ්ඨතම තීන්දුවක් බව ඔවුන් අවධාරණය කළා.

සහන ලබා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේද කියා සිටියා. “මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකළ යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුළ අනිසි බියක් ඇති නොකළ යුතුයි. අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛයිරසය ඇතුල් වීමට හා එය රට තුළ පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කළ යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා. අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝගවලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මේ අවස්ථාවේ ජනතාවට වගකීමෙන් කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරනවා.”

Rivira Ads
To Top