,
Covid-19

දිස්ත්‍රික් 6කට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය, නවතම ඇඳිරි නීති කාල සටහන මෙන්න

අවසන් යාවත්කාලීන කිරීම (මාර්තු 29 පෙරවරු 09.30ට)

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.

මාර්තු 29 දින නිවේදන අංක 19 යටතේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සෙසු සියළුම දිස්ත්‍රික්කවල මාර්තු 30 සඳුදා පෙරවරු 6ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය පස්වරු 2ට නැවත පනවනු ලබන බවයි.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලබන බවද නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

බස්නාහිරට හා යාපනයට දිගටම, නවතම ඇඳිරි නීති කාල සටහන මෙන්න (මාර්තු 26 පෙරවරු 11.30ට)

උතුරු පළාතට අදාළව වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය මාර්තු 27 පෙරවරු 9ට ඉවත් කිරීමට නියමිතව තිබුණි. එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

බස්නාහිරා පළාතට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පෙර දැනුම් දුන් පරිදි ක්‍රියාත්මකයි. මාර්තු 27 පෙරවරු 11ට නිවේදන අංක 07 යටතේ ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළා.

නවතම ඇඳිරි නීති කාල සටහන මෙන්න, බස්නාහිරට දිගටම (මාර්තු 26 පෙරවරු 9.30ට)

මාර්තු 26 පෙරවරු 6ට ඇඳිරි නීතිය අවසන් වූ දිස්ත්‍රික්කවල එදිනම පස්වරු 2ට නැවත පනවනු ලබන ඇඳිරි නීතිය මාර්තු 30 වන සඳුදා පෙරවරු 6ට ඉවත් කොට එදිනම පස්වරු 2 සිට යළි ක්‍රියාත්මක වෙයි. මාර්තු 26 දින අංක 6 යටතේ පෙරවරු 8.55ට ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 27 සිකුරාදා පෙරවරු 6ට ලිහිල් කොට එදිනම පස්වරු 2ට යළි පනවනු ලැබේ. එසේ යළි පැනවූ ඇඳිරි නීතිය මාර්තු 30 සඳුදා පෙරවරු 6ට ඉවත්කොට එදිනම පස්වරු 2ට නැවත ක්‍රියාත්මක කෙරේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

රට පුරා ඇඳිරි නීතිය පිළිබඳව මේ නිවේදනයේ සඳහන් වේලාවන් නැවත දැනුම් දෙන තුරු වලංගුව පවතින බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

සියලු දිස්ත්‍රික්ක ලොක් ඩවුන් තත්වයට පත් කෙරේ, නවතම ඇඳිරි නීති කාල සටහන මෙන්න (මාර්තු 23 පස්වරු 1.30ට)

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 උදේ 6ට ඉවත් කෙරේ. මේ දිස්ත්‍රික්කවලට එදිනම දහවල් 12ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය මාර්තු 27 සිකුරාදා උදේ 6 තෙක් බලපැවැත් වේ. ඇඳිරි නීතිය දීර්ග කිරීම සම්බන්ධයෙන් මාර්තු 23 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත කළ නිවේදනයෙන් මේ බව කියා සිටී.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු 23 පෙරවරු 6ට ඉවත් කළ අතර දහවල් 2ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ. එය මාර්තු 26 බ්‍රහස්පතින්දා උදේ 6ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12ට නැවත පනවනු ලැබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවද රජය නිවේදනය කරයි. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි. ලෝක සම්ප්‍රදායට අනුව එය සැළකෙන්නේ ලොක් ඩවුන් තත්වයක් ලෙසයි. මේ වන විට ලොව බොහෝ රටවල් ලොක්ඩවුන් ක්‍රමවේදය භාවිතා කරමින් සිටී.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇත. සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ. කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව ද රජය දැනුම් දෙයි.

උතුර ලොක් ඩවුන් තත්වයට පත් කෙරේ, දිස්ත්‍රික්කයෙන් පිටවීම තහනම් (මාර්තු 22 පස්වරු 6.30ට)

මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 වන අඟහරුවාදා පෙරවරු 6 දක්වා කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මාර්තු 22 ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ එම ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා පෙරවරු 6ට ඉවත් කර පසවරු 2.00ට යළි පනවනු ලබන බවයි.

උතුරේ දිස්ත්‍රික්ක 5 වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

පසුගිය දිනවල උතුරට පැමිණ ඇති ස්විට්සර්ලන්ත ජාතික දේවගැතිවරයාට කොවිඩ්-19 වෛරසය ආසාදිත බව සොයා ගැනීමත් සමග දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතින බව රජය කියා සිටී. එම ප්‍රදේශයේ වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ආරක්ෂා කරගනු පිණිස මේ තීරණය ගෙන ඇති බවද එහි සඳහන්.

කොළඹට, ගම්පහට, පුත්තලමට ඇඳිරිනීතිය දීර්ග කෙරේ (මාර්තු 21 පස්වරු 6.30ට)

දැනට දිවයිනටම ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 3 සඳහා මාර්තු 24 අඟහරුවාදා පෙරවරු 6 දක්වා දීර්ග කර තිබෙන අතර එදින පස්වරු 2 සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. අනෙක් දිස්ත්‍රික්ක සඳහා පෙර සඳහන් කළ පරිදි මාර්තු 23 සඳුදා පෙරවරු 6ට තාවකාලිකව ඉවත් කිරීමටත් පස්වරු 2 සිට යළි පැනවීමටත් තීරණය කර තිබෙනවා.

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි. ජනාධිපති මාධ්‍ය අංශය මාර්තු 21 දින නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇත. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.

මුළු රටටම ඇඳිරිනීතිය පනවයි (මාර්තු 20 පෙරවරු 9.30ට)

මාර්තු 20 සිකුරාදා සවස 6 සිට 23 සඳුදා පෙරවරු 6 දක්වා මුළු රටටම බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.

පැනවූ ඇඳිරි නීතිය 9-12 දක්වා ඉවතට (මාර්තු 19 පෙරවරු 9.05ට)

දැනට ඇඳිරි නීතිය පනවා ඇති සියලුම ප්‍රදේශවලට මාර්තු 20 පෙරවරු 9 සිට දහවල් 12 දක්වා ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබෙනවා. මාර්තු 20 පෙරවරු 9ට නිකුත් කළ රජයේ ප්‍රවෘත්ති නිවේදන 64/2020 හී එය දැක්වේ.

ජාඇලට හා වත්තලටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි (මාර්තු 19 පස්වරු 10.00ට)

ජාඇල හා වත්තල පොලිස් බල ප්‍රදේශවලද මාර්තු 19 රාත්‍රී 10 සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්තු 19 රාත්‍රී 9.50ට නිකුත් කළ අංක 64 නිවේදනයේ මේ බව සඳහන්.

ඇඳිරි නීතිය යළි පනවයි (මාර්තු 19 පස්වරු 2.00ට)

පුත්තලම, හලාවත හා කොච්චිකඩේ ප්‍රදේශවලට යළිත් ඇඳිරි නීතිය බලාත්මක කර තිබෙනවා. පස්වරු 2සිට එය බලාත්මක කළ බවයි පොලීසිය සඳහන් කළේ.

පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය මාර්තු 19 පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා අත්හිටුවයි (මාර්තු 19 පෙරවරු 7.00ට)

මහමැතිවරණයේ නාම යෝජනා බාර දෙන අවසාන දිනයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යා හැකි වන ලෙස මාර්තු 19 දින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා පුත්තලමේ පොලිස් වසම් 11කටත්, හලාවත පොලිස් වසම් 7කටත්, කොච්චිකඩේ පොලිස් වසමටත් පැන වූ ඇඳිරි නීතිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මාර්තු 19 පස්වරු 2 සිට යළිත් ඇඳිරි නීතිය බලාත්මක වනු ඇති බවද ඒ සම්බන්ධයෙන් නිකුත් කළ පොලිස්පති නියෝගයේ දැක්වේ.

මාර්තු 18 සිට ප්‍රදේශ රැසකට පොලිස් ඇඳිරි නීතිය (මාර්තු 18 පස්වරු 2ට)

පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 11කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 07 කටත්, මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමටත් මාර්තු 18 බදාදා පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාර්තු 18 පස්වරු 1.40ට නිකුත් කළ නිවේදනයට අනුව පුත්තලම පොලිස් කොට්ඨාසයේ පුත්තලම, ආණමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ, සාලියවැව යන පොලිස් වසම්වලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

මීට අමතරව හලාවත පොලිස් කොට්ඨාසයේ හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව යන පොලිස් වසම්වලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා සහ අත්‍යාවශ්‍ය සේවා කටයුතු සඳහා ගමන් කිරීම සිදු කිරීමට හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා බාරදීමේ කටයුතු සිදු කිරීමට බාධාවක් නොමැති බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Rivira Ads
To Top