හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් නව දේශපාලන බලවේගයක් නිර්මාණය වී තිබෙනවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට නියමිත එම බලවේගය “අපේ ජන බල පක්ෂය” නමින් “කොඩිය” ලකුණින් ඉදිරිපත් වන බව අතුරලියේ රතන හිමියන් පවසා සිටියහ.
වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ රට නිවැරදි මගකට ගෙන යාම සඳහා සුදුසු පිරිසක් භික්ෂූන්ගේ මග පෙන්වීම හා නායකත්වය යටතේ මහමැතිවරණයට ඉදිරිපත් කරන බවයි. ඊට රටම පිළිගත් උගත් බුද්ධිමත් වියත් කණ්ඩායමක් ඉදිරිපත් කරන බවද උන්වහන්සේ කියති. මෙය ඉදිරි මහමැතිවරණයේ දී වෙනසක් කරන හා විශාල බලපෑමක් කරන බලවේගයක් බවද උන්වහන්සේ අවධාරණය කළහ.
එම පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්ද නාම යෝජනා අත්සන් කර තිබෙන අතර ඊට ජීවන් කුමාරණතුංග, ප්‍රසන්න සෝලංගආරච්චි ඇතුළු කිහිප දෙනෙක් ඇතුළත් වේ.
මෙම පෙරමුණට ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්, පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු සමාජයේ ක්‍රියාකාරීව සිටි සහ ජනතා ගැටළු ආමන්ත්‍රණය කළ ජන හිතවාදී භික්ෂුන් වහන්සේ එක් වී සිටින බවද වාර්තා වේ. ඒ අනුව රතන හිමියන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, ඥානසාර හිමියන් කුරුණැගල දිස්ත්‍රික්කයෙන්ද තරඟ වැදීම සඳහා නාම යෝජනා අත්සන් කර තිබේ.
මෙම පක්ෂයෙන් නාම යෝජනා ලබා දෙන්නේ උගත්, බුද්ධිමත් හා රටට වැඩදායී පුද්ගලයින්ට පමණක් බව රතන හිමියන් අවධාරණය කළහ. උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමට කැප වී කටයුතු කළ පිරිසක් ඒ අතර සිටින බවයි. එහෙත් ජනාධිපතිවරයාව බලයට ගෙන ඒමේදී ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටු නොවීම නිසා මෙම තීරණය ගෙන ඇති බවද පෙන්වා දුන්නා.

