,
Covid-19

ශ්‍රී ලංකාවේදී වෛරසය ආසාදනය වූ පළමු ලාංකිකයා පූර්ණ සුවය ලබයි

මත්තෙගොඩ පදිංචි ජයන්ත රණසිංහ, ශ්‍රී ලංකාවේ දී කොවිඩ්-19 ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා විය. ඔහු ඉතාලි බස කතාකරන සංචාරක රියදුරු මාර්ගෝපදේශක කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා.

ඔහු අවසන් වරට මගපෙන්වා ඇත්තේ මාර්තු 3 වැනිදා සිට මෙරට සංචාරයක නිරත වූ ඉතාලි ජාතික සංචාරකයින් සිව්දෙනෙකුටයි. එම පිරිස මාර්තු 3 වැනිදා සිට 8 වැනිදා දක්වා සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබුණා.

එහෙත් ඉතාලි ජාතිකයින් සිව්දෙනා කටුනායක ගුවන් තොටුපළට ඇරලවූ ජයන්ත රණසිංහ පසුව මත්තේගොඩ පිහිටි තම නිවසට ද පැමිණ ඇත. දෙදරු පියෙකු වන 52 හැවිරිදි ජයන්ත රණසිංහ හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබුණේ, පසුගිය මාර්තු 9 වැනිදායි. එහිදී සිදුකළ පරීක්ෂණ වලදී මාර්තු 11 දින තහවුරු උනේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි. ඔහු ශ්‍රී ලංකාවේ දී වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද වාර්තා වී තිබුණා.

ඒ අනුව දින 10කට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු පූර්ණ සුවය ලබා ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ඒ බව තහවුරු කර සිටියා. සුවය ලැබීමෙන් පසුවද දින කිහිපයක් නිරීක්ෂණයට ලක් කර පසුව රෝහලෙන් පිටත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු රෝගීන් දෙදෙනාම මේ වන විට සුවය ලබා තිබෙනවා. මේ වන විටත් රට තුළ වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රමාණය 64ක්. තවත් දෙදෙනෙකු සුවය ලබමින් නිරීක්ෂණ මට්ටමෙන් සිටින බවටද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියා සිටිනවා. ප්‍රතිකාර ලබන සියලු දෙනාගේ තත්වය සාමාන්‍ය බවද එම අංශ තහවුරු කර සිටිනවා.

Rivira Ads
To Top