කොවිඩ්-19

ශ්‍රී ලංකාවේ ආසාදිතයින් මිලියනයකට 27ක් දක්වා ඉහළට(Full Report)

අවසන් යාවත්කාලීන කිරීම (අප්‍රේල් 28 පෙරවරු 09.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 28 පෙරවරු 9 වන විට 588 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 27 දිනය තුළ පමණක් නව ආසාදිතයින් 65 දෙනෙකු හඳුනාගෙන තිබීම හේතුවෙන්. එය දිනයක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණනයි. මීට පෙර එම වැඩිම ප්‍රමාණය වාර්තා වී තිබුණේ අප්‍රේල් 26 දින වීමත් විශේෂත්වයක්. අප්‍රේල් 27 දිනය තුළ 6 දෙනෙකු සුවය ලබා තිබෙනවා. මේ වන විට ජනගහණයට සාපේක්ෂකව, ජයගහණය මිලියනයකට ශ්‍රී ලංකාවේ සිටින ආසාදිතයින් ගණන 27 දක්වා ඉහළගොස් තිබෙනවා.

අප්‍රේල් 27 දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් 65 දෙනාගෙන් 44 දෙනෙකු පිළිබඳ මීට පෙර නිවේදනය කළ අතර ඔවුන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ වන ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 180ක් බවත් ඉන් 112 දෙනෙකු වැලිසර නාවික කඳවුර තුළත් 68 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටි අය බවත් යුධ හමුදාපතිවරයා
අප්‍රේල් 27 සවස 6ට කියා සිටියා. සමාජය ඔවුන් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව රජය අවධාරණය කරනවා. නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් විනයානුකූල පිරිසක් බවත් දී ඇති උපදෙස් පිළිපදිමින් අදාළ කටයුතුවලට ප්‍රතිචාර දක්වමින් සිටින බවත් රජය අවධාරණය කරනවා.

ඒ අනුව අප්‍රේල් 28 පෙරවරු 9 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 126කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 454ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 295ක් බවද සඳහන් වේ.

අවසන් දින කිහිපය තුළ කැපී පෙනෙන ලෙස ආසාදිතයින් වාර්තා වීම ඉහළගොස් තිබෙනවා.

  • අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත්
  • අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත්
  • අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත්
  • අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත්
  • අප්‍රේල් 26 ආසාදිතයින් 63 දෙනෙකුත්
  • අප්‍රේල් 27 දින ආසාදිතයින් 65 දෙනෙකුත් ලෙස නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මේ වන සක්‍රීය ආසාදිතයින්ට ප්‍රතිකාර කෙරෙන රෝහල් ප්‍රමාණය ඉහළ දමා ඇති අතර අප්‍රේල් 27 දින වන විට IDH රෝහල, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල මූලික රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල හා නාවික හමුදා රෝහල ද ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 27 දින පෙරවරු 10.30 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් අතුරින්,

  • IDH රෝහල – 138
  • වැලිකන්ද මූලික රෝහල – 58
  • මුල්ලේරියාව මූලික රෝහල – 67
  • ඉරණවිල මූලික රෝහල – 21
  • කාත්තන්කුඩි මූලික රෝහල – 55
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 6
  • නාවික හමුදා රෝහල – 45ක් ද ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ අනුව අප්‍රේල් 27 දින පෙරවරු 10.30 වන විට හඳුනාගෙන ඇති රෝගීන් සෞඛ්‍ය දිස්ත්‍රික්ක අනුව

  • කොළඹ – 155
  • කළුතර – 63
  • ගම්පහ – 41
  • පුත්තලම – 39
  • යාපනය – 16
  • කුරුණෑගල – 15
  • මහනුවර – 11
  • අනුරාධපුර – 10
  • රත්නපුර – 7
  • කෑගල්ල – 7
  • මොණරාගල – 4
  • හම්බන්තොට – 3
  • මාතර – 2
  • කල්මුණේ – 2
  • බදුල්ල – 2
  • වවුනියාව – 2
  • ගාල්ල – 1
  • මඩකලපුව – 1
  • මාතලේ – 1
  • පොලොන්නරුව – 1
  • ත්‍රිකුණාමලය – 1
  • නිරෝධායන මධ්‍යස්ථාන – 41
  • නාවික කඳවුර (වැලිසර) – 72
  • විදේශිකයින් – 3 (තිදෙනාම සුවය ලබා ඇත)
  • දිස්ත්‍රික්කය තහවුරු කර නොගත් – 23

මේ අතර නුවරඑලිය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව් හා අම්පාර යන දිස්ත්‍රික්ක 5න් තවමත් ආසාදිතයින් වාර්තා වී නැත.

ආසාදිතයින් 460ක් දක්වා ඉහළට, සක්‍රීය ආසාදිතයින් 335ක්, 118කට සුවයි (අප්‍රේල් 23 පෙරවරු 09.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 26 පෙරවරු 9 වන විට 460 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 25 දිනය තුළත් නව ආසාදිතයින් 40 දෙනෙකු තහවුරු වීමත් සමගයි. අප්‍රේල් 25 දිනය තුළ 9 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

මේ අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත් අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත් අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත් හා අප්‍රේල් 25 ආසාදිතයින් 40 දෙනෙකුත් ලෙස පිට පිට දින 4කදී දිනකට වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව 20 ඉක්මවා තිබෙනවා. තවද අවසන් දින තුනේ දී පිට පිට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 30 සීමාවද ඉක්මවා තිබෙනවා.

අප්‍රේල් 25 වන වාර්තා වූ ආසාදිතයින් 40 දෙනාගෙන් 10 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති අතර 10 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇති අතර වැලිසර කඳවුරේ සේවය කර නිවාඩු ලබා ගිය නාවික සාමාජිකයින් 10කුද ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුද වාර්තා වී තිබෙනවා. ඊට අමතරව නාවික හමුදා නිලධාරිනියකගේ ස්වාමි පුරුෂයෙකු වන යුධ හමුදා නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී තිබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා. මීට අමතව දිනය තුළ වාර්තා වූ රෝගින් අතරට කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 12 හැවිරිදි පිරිමි දරුවෙකුද ඇතුළත්. පුත්තලම ප්‍රදේශයේ සිට කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පිරිසෙන් 3ක්ද, ඕමාන් සිට පැමිණ දියතලාව නිරෝධායන මධස්ථානයේ රඳවා සිටි 3ක්ද, මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකුද ඇතුළත් වේ.

ඒ අනුව අප්‍රේල් 26 පස්වරු 9 වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 118කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 335ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 247ක් බවද සඳහන් වේ.

අප්‍රේල් 24 දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 52ක් දක්වා ඉහළට(අප්‍රේල් 25 පෙරවරු 09.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 24 සිකුරාදා පස්වරු 11.55 වන විට 420 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අප්‍රේල් 24 දිනය තුළ පමණක් නව ආසාදිතයින් 52 දෙනෙකු තහවුරු වීමත් සමගයි. එය ශ්‍රී ලංකාවේ දිනකදී හමුවූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි.

අප්‍රේල් 24 වන වාර්තා වූ ආසාදිතයින් 52 දෙනාගෙන් 30 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වන අතර 5 දෙනෙකු නිවාඩු ලබා නිවෙස්වල(කුරුණෑගල පොල්ගහවෙල උඩපොළ ප්‍රදේශයෙන්, රත්නපුර හිදිල්ල කන්ද ප්‍රදේශයෙන්, කුරුණෑගල කීනියා පොළ ප්‍රදේශයෙන්, බදුල්ල ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ ප්‍රදේශයෙන්, මහනුවර දඹුල්ල අත‍බෝධි වැව ප්‍රදේශයෙන්) සිටි නාවික හමුදා සාමාජිකයින් වේ. තවත් 11 දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතයා මරදාන ප්‍රදේශයේ පදිංචි සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගර්භණී කාන්තාවයි. ඒ අනුව මෙතෙක් ආසාදිත වී ඇති නාවික හමුදා සාමාජිකයින් ගණන 65ක් වේ.

ඒ අනුව අප්‍රේල් 25 පෙරවරු 9 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 109කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 304ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. ඒ අනුව පළමු වතාවට ශ්‍රී ලංකාව තුළ සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 300 සීමාව ඉක්මවා තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 183ක් බවද සඳහන් වේ.

නාවිකයින් 30ක් ආසාදිතයි, වැලිසර නාවික හමුදා කඳවුරට වෛරසය ඇතුලු වූ ආකාරය ගැන සැකයක් (අප්‍රේල් 24 පස්වරු 09.40ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා පස්වරු 9.30 වන විට 368 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 23 දිනය තුළ පමණක් නව ආසාදිතයින් 38 දෙනෙකු තහවුරු වීමත් සමගයි. එය ශ්‍රී ලංකාවේ දිනකදී හමුවූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි.

අප්‍රේල් 22 වන දා පොළොන්නරුවෙන් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සෙබළා සේවයේ නියුතු වැලිසර නාවික කඳවුරේ සේවය කරන තවත් නාවික හමුදා සෙබලෙකු ආසාදිත බව අප්‍රේල් 23 දහවල් අනාවරණය වූ අතර එහිදී ඇති වූ සැකය මත වැලිසර නාවික කඳවුරේ විශාල පිරිසක් පීසීආර් පරීක්ෂණයකට ලක් කර තිබුණා. ඒ අනුව දිනය තුළ සෙබළුන් 29 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව, දැනට වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් 30 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වි ඇති අතර කඳවුර සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමටත් නිවෙස් බලා ගොස් සිටින සියළුම සෙබළුන් නැවත කඳවුර වෙත කැඳවීමටත් ඔවුන් සියළුදෙනාම කඳවුර තුළම නිරෝධායනයට ලක් කිරිමටත් මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

එසේම, පළමුව පොළොන්නරුවෙන් වාර්තා වූ නාවික හමුදා සෙබළාට වෛරසය වැළඳී ඇත්තේ පසුගිය දා ජාඇල ප්‍රදේශයෙන් වාර්තා වූ වෛරසය ආසාදිත පුද්ගලයින් සමඟ සම්බන්ධකම් පැවැත් වූ පුද්ගලයින් සොයා සිදු කළ මෙහෙයුමකට සම්බන්ධ වූ තවත් නාවික හමුදා සෙබළෙකුගෙන් බවට සැක කෙරෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව කඳවුරේ සෙබලුන් ආසාදිත වීමට හේතුව ජාඇල සුදුවැල්ල ආශ්‍රිතව කළ මෙහෙයුම් බවට සැක කෙරේ.

සක්‍රීය ආසාදිතයින් 218ක් ලංකාවේ(අප්‍රේල් 23 පෙරවරු 09.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 වන විට 330 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 22 දිනය තුළ පමණක් තවත් ආසාදිතයින් 20 දෙනෙකු තහවුරු වීමත් සමගයි.

අප්‍රේල් 22 දිනයේ හඳුනාගත් ආසාදිතයින් 20 දෙනාගෙන් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර 7 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මීට අමතරව පොළොන්නරුව ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද සිටී.

අප්‍රේල් 23 පෙරවරු 9 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 218ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 148ක් බවද සඳහන් වේ.

අප්‍රේල් 22 දිනය තුළ පොළොන්නරුවෙන් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ ග්‍රාමයන් 12ක් හුදෙකලා කිරීමට පියවරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 200 ඉක්මවයි(අප්‍රේල් 21 පස්වරු 07.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 21 අඟහරුවාදා පස්වරු 6.00 වන විට 310 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 6 දෙනෙකු දිනය තහවුරු වීමත් සමගයි.

මෙම රෝගීන් 6 දෙනාගෙන් 5ක් කොළඹ 12 බණ්ඩාරනායකපුර වසා දමා ඇති ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එක් අයෙක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.

අප්‍රේල් 21 පස්වරු 6 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 102ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 201ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. ඒ අනුව පළමු වතාවට ශ්‍රී ලංකාව තුළ සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 200 ඉක්මවා තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 158ක් බවද සඳහන් වේ.

මේ අතර අප්‍රේල් 21 දින පෙරවරු 10.30 වන විට පෙර දිනට අදාළව කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 110කි. එය රටෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් (1/3) ඉක්මවූ ප්‍රමාණයකි. කළුතර දිස්ත්‍රික්කයෙන් 45ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 32ක්ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකුද මහනුවරින් 7ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5ක්ද ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතරට විදේශිකයින් 3 දෙනෙකු ඇතුළත් අතර ඉන් තිදෙනාම සුවය ලබා තිබෙනවා.

ආසාදිතයින් 300ත් ඉක්මවයි, සක්‍රීය ආසාදිතයින් ගණන 199ක් දක්වා ඉහළට (අප්‍රේල් 20 පස්වරු 06.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 20 සඳුදා පස්වරු 4.00 වන විට 303 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 8 දෙනෙකු තහවුරු වීමත් සමගයි. ඒ අනුව අප්‍රේල් 20 දිනය තුළ නව ආසාදිතයින් 32ක් දැනට තහවුරු කර ගෙන තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි.

මෙම රෝගීන් 32 දෙනාම කොළඹ 12 බණ්ඩාරනායකපුර වසා දමා ඇති ප්‍රදේශයක ස්වයං නිරෝධායනයට ලක් කරමින් සිටියදී හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.

මේ වන විට රජය විසින් කොරෝනා පරීක්ෂණ ඉහළ දමමින් සැක සහිත සියලු දෙනාට අමතරව වසා දමා ඇති ප්‍රදේශවලද සිටින සියලු දෙනා පරික්ෂාවට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර පසුගිය දින කිහිපය පුරාම සොයාගත් රෝගීන් නිරෝධායනයට ලක් කර සිටි අය බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර සිටිනවා.

අප්‍රේල් 20 දිනය වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 97ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 199ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 122ක් බවද සඳහන් වේ.

මේ අතර අප්‍රේල් 20 දින පෙරවරු 10.30 වන විට පෙර දිනට අදාළව කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 77ක් වන අතර අප්‍රේල් 20 දින සොයාගත් ආසාදිතයින් 32ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වීමත් සමග එම ගණන 109 දක්වා ඉහළ ගොස් ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් 45ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 32ක්ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකුද මහනුවරින් 7ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5ක්ද ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතරට විදේශිකයින් 3 දෙනෙකු ඇතුළත් අතර ඉන් තිදෙනාම සුවය ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආසාදිතයින්ගෙන් තුනෙන් එකක් සුව වෙයි (අප්‍රේල් 19 පෙරවරු 09.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 19 ඉරිදා පෙරවරු 09.00 වන විට 254 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 18 දිනය තුළ නව ආසාදිතයින් 10ක් තහවුරු වී තිබෙනවා. ඔවුන්ගෙන් 3 දෙනෙකු ජාඇල සුදුවැල්ලේ මත්ද්‍රව්‍යවලට ඇබ්බහිවූවන් රඳවා සිටින කිලිනොච්චි නිරෝධායන මධ්‍යස්ථානයෙන් වන අතර තවත් 6 දෙනෙක් සුදුවැල්ල ආසාදිතයෙකු ආශ්‍රය කිරීම නිසා වැලිසර නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයින් වේ. අනෙක් ආසාදිතයා කාන්තාවක් වන අතර ඇය ආසාදිත ගුවන් තොටුපල නිලධාරිනියක් ආශ්‍රය කිරීම හේතුවෙන් නිරෝධායනයට ලක් කර සිට ඇති අයෙකි. අවසන් වරට වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වන අතර එකට මත්ද්‍රව්‍ය ලබාගැනීමේ දී වෛරසය වැළඳී ඇති බව සැක කෙරේ.

අප්‍රේල් 18 දිනය තුළ තවත් 9 දෙනෙකු සුවය ලබා ඇති අතර දැනට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 86ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 33% ඉක්මවා තිබෙනවා. එනම් මෙතෙක් ආසාදිතයින්ගෙන් තුනෙන් එකක් සුවය ලබා තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 161ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 103ක් බවද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ආසාදිතයින්ගෙන් 31%ක් සුව වෙයි (අප්‍රේල් 17 පෙරවරු 08.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 17 සිකුරාදා පස්වරු 07.00 වන විට 242 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 17 දිනය තුළ මේ වන තෙක් නව ආසාදිතයින් 4ක් තහවුරු වී තිබෙනවා. ඔවුන්ගෙන් තිදෙනෙක් කාන්තාවන් වන අතර ඔවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිට ඇත. අප්‍රේල් 17 දිනය තුළ තවත් 9 දෙනෙකු සුවය ලබා ඇති අතර දැනට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 77ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 31% ඉක්මවා තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 158ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 144ක් බවද සඳහන් වේ.

එමෙන්ම මේ වන කොරෝනා වෛරසය හඳුනා ගැනීමට අදාළ පීසීආර් පරීක්ෂණ 11,000කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී. පසුගිය පැය 24 තුළ පමණක් මාධ්‍යස්ථාන 11කදී පීසීආර් පරීක්ෂණ 1000ක් පමණ සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලබමින් සිටි අවසන් විදේශිකයාද පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරනු ලැබුවා. ඒ අනුව චීන ජාතික කාන්තාව, ප්‍රංශ ජාතිකයෙකු හා ඉන්දීය ජාතිකයෙකු ඊට ඇතුළත්.

අප්‍රේල් 17 පෙරවරු 10 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් ‍161 දෙනාගෙන් 83 දෙනෙකු IDH රෝහලේ ද 41 දෙනෙකු වැලිකන්ද රෝහලේ ද 22 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද, ඉරණවිල රෝහලේ 15 දෙනෙකුද ප්‍රතිකාර ලබමින් සිටී. නිරෝධායන මධ්‍යස්ථානයකදී සොයාගත් ආසාදිතයින් 4ක් රෝහල් වෙත යොමු කරමින් සිටින බවද වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

ලංකාවේ සක්‍රීය ආසාදිතයින් ගණන පළමු වරට 165ක් දක්වා ඉහළට(අප්‍රේල් 15 පෙරවරු 09.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 14 අඟහරුවාදා පස්වරු 11.00 වන විට 233 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 14 දිනය තුළ නව ආසාදිතයින් 15ක් තහවුරු වී තිබෙනවා. ඔවුන් අතර ජාඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනයට ගෙන ගිය පිරිසෙන් 4 දෙනෙකු හා යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කරමින් සිටි යාපනයේ ජීවත්වන පුද්ගලයින් 8 දෙනෙකුද ඇතුළත්. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. දැනට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 165ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 142ක් බවද සඳහන් වේ.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ පීසීආර් පරීක්ෂණ 700කට වැඩි ප්‍රමාණයක් කළ බව යුධ හමුදාපතිවරයා අනාවරණය කළා. අවසන්වරට සොයා ගත් ආසාදිතයින් බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ පෙන්වීමට පෙරම ආසාදිතයින් ඇසුරු කර තිබීම හේතුවෙන් නිරෝධායනයට ලක් කර සිටියදී පරීක්ෂා කොට සොයාගෙන තිබීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියනයකට 10 දෙනෙක් ආසාදිතයි (අප්‍රේල් 14 පස්වරු 01.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 14 අඟහරුවාදා පස්වරු 01.00 වන විට 218 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ජනගහණයට සාපේක්ෂක මිලියනයකට ආසාදිතයින් 10 දෙනෙකු ලෙසයි වාර්තා වෙන්නේ. අප්‍රේල් 13 දිනය තුළ නව ආසාදිතයින් 8ක් තහවුරු වී තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. අප්‍රේල් 14 පස්වරු 1 වන තෙක් දිනය තුළ 3ක් සුවය ලබා රෝහලෙන් පිට වී ඇති අතර දැනට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 59කි. සක්‍රීය ආසාදිතයින් ගණන 152ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 142ක් බවද සඳහන් වේ.

සක්‍රීය ආසාදිතයින් ‍152 දෙනාගෙන් විදේශිකයෙකු ඇතුළුව 87 දෙනෙකු IDH රෝහලේ ද 30 දෙනෙකු වැලිකන්ද රෝහලේ ද 26 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද, ඉරණවිල රෝහලේ 5 දෙනෙකුද ප්‍රතිකාර ලබමින් සිටී. නිරෝධායන මධ්‍යස්ථානයකදී සොයාගත් ආසාදිතයින් 4ක් රෝහල් වෙත යොමු කරමින් සිටින බවද වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

මේ අතර අප්‍රේල් 14 දින පෙරවරු 11 වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 45 දක්වා ඉහළ ගොස් ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් 44ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 34ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 25ක්ද, මහනුවර හා යාපනය දිස්ත්‍රික්කවලින් 7 බැගින්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2ක්ද, මාතර දිස්ත්‍රික්කයෙන් 2ක්ද, ගාල්ල, කෑගල්ල, මඩකලපුව හා බදුල්ලෙන් එක් රෝගියෙකු බැගින්ද වාර්තා වී තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 37 දෙනෙකුද ආසාදිතයින් අතර සිටී. සමස්ථ ආසාදිතයින් අතරට විදේශිකයින් 3 දෙනෙකු ඇතුළත් අතර ඉන් දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණයක් 155ක් දක්වා ඉහළට, සුවය ලැබූවන් 56යි (අප්‍රේල් 13 පස්වරු 11.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 13 සඳුදා පස්වරු 11.30 වන විට 218 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 13 දිනය තුළ නව ආසාදිතයින් 8ක් තහවුරු වී තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. අප්‍රේල් 13 පස්වරු 9 වන තෙක් දිනය තුළ සුවය ලබා පිටවූවන් නොමැති අතර දැනට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 56කි. සක්‍රීය ආසාදිතයින් ගණන 155ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා.

අවසන් වරට තහවුරු කරගත් ආසාදිතයින් බොහෝ දෙනා ජාඇල ප්‍රදේශයෙන් හා බේරුවල ප්‍රදේශයෙන් වීමද විශේෂත්වයකි. ඒ අනුව එම ප්‍රදේශවල සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති සියළු දෙනා පරීක්ෂණවලට භාජනය කිරීමට පියවරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් 203 දක්වා ඉහළට (අප්‍රේල් 12 පස්වරු 07.25ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 12 ඉරිදා පස්වරු 7.30 වන විට 203 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය නව ආසාදිතයින් 5ක් තහවුරු වී තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. අප්‍රේල් 11 දිනයේ හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන දෙදෙනෙකු වේ. අප්‍රේල් 12 ඉරිදා පස්වරු 2 වන තෙක් දිනය තුළ සුවය ලබා පිටවූවන් එක් අයෙකු වාර්තා වන අතර දැනට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 55කි. සක්‍රීය ආසාදිතයින් ගණන 140ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා.

මේ අතර අප්‍රේල් 12 දින පෙරවරු 10 වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 45 දක්වා ඉහළ ගොස් ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් 34ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 28ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 23ක්ද, මහනුවර හා යාපනය දිස්ත්‍රික්කවලින් 7 බැගින්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2ක්ද, මාතර දිස්ත්‍රික්කයෙන් 2ක්ද, ගාල්ල, කෑගල්ල, මඩකලපුව හා බදුල්ලෙන් එක් රෝගියෙකු බැගින්ද වාර්තා වී තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 37 දෙනෙකුද ආසාදිතයින් අතර සිටී. සමස්ථ ආසාදිතයින් අතරට විදේශිකයින් 3 දෙනෙකු ඇතුළත් අතර ඉන් දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ ගණන 7 දක්වා ඉහළට (අප්‍රේල් 8 පස්වරු 07.30ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී මිය ගිය හත්වැනි පුද්ගලයා ලෙස 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙන බව අප්‍රේල් 8 වන බදාදා දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කර සිටිනවා. ඔහු මිය යන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

සක්‍රීය අසාදිතයින් 140 දක්වා ඉහළට, කොළඹින් පමණක් 44ක් (අප්‍රේල් 8 පස්වරු 05.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 8 බදාදා පස්වරු 4 වන විට 188 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් 6 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. අප්‍රේල් 8 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 3 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අප්‍රේල් 7 දිනයේ හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 7 දෙනෙකු වේ. අප්‍රේල් 8 බදාදා පස්වරු 4 වන තෙක් දිනය තුළ සුවය ලබා පිටවූවන් නොමැති අතර දැනට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 42කි. සක්‍රීය ආසාදිතයින් ගණන 140ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 44 දක්වා ඉහළ ගොස් ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් 34ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 26ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 16ක්ද, මහනුවර හා යාපනය දිස්ත්‍රික්කවලින් 7 බැගින්ද, රත්නපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් 3 බැගින්ද, මාතර දිස්ත්‍රික්කයෙන් 2ක්ද, ගාල්ල, කෑගල්ල, මඩකලපුව හා බදුල්ලෙන් එක් රෝගියෙකු බැගින්ද වාර්තා වී තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 37 දෙනෙකුද ආසාදිතයින් අතර සිටී. සමස්ථ ආසාදිතයින් අතරට විදේශිකයින් 3 දෙනෙකු ඇතුළත් අතර ඉන් දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා.

අසාදිතයින් 185යි, 42ක් සුවයි, 6කට දිවි අහිමි වෙයි, සම්පූර්ණ තත්වය මෙන්න (අප්‍රේල් 7 පස්වරු 10.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 7 අඟහරුවාදා පස්වරු 10 වන විට 185 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් 6 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. අප්‍රේල් 7 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අප්‍රේල් 7 පස්වරු 10 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 137ක් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා.

අසාදිතයින් 180යි, 42ක් සුවයි, 6කට දිවි අහිමි වෙයි, සම්පූර්ණ තත්වය මෙන්න (අප්‍රේල් 7 පස්වරු 01.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 7 අඟහරුවාදා පෙරවරු 11 වන විට 180 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් 6 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. අප්‍රේල් 6 දිනය තුළ නව ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අප්‍රේල් 7 පස්වරු 1 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 132ක් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 255ක් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විදේශිකයින් දෙදෙනාගෙන් එක් අයෙකුද සුවය ලබා තිබෙනවා.

සක්‍රීය ආසාදිතයින් ‍132 දෙනාගෙන් විදේශිකයෙකු ඇතුළුව 95 දෙනෙකු IDH රෝහලේ ද 10 දෙනෙකු වැලිකන්ද රෝහලේ ද 27 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටී.

6 වැනි මරණයත් වාර්තා වෙයි (අප්‍රේල් 7 පෙරවරු 10.30ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී මිය ගිය හයවැනි පුද්ගලයා ලෙස 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මිය යන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. ඔහු වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මිය ගිය වයස්ගතම පුද්ගලයායි.

අසාදිතයින් 166යි, 27ක් සුවයි, 5කට දිවි අහිමි වෙයි (අප්‍රේල් 5 පෙරවරු 10.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 5 ඉරිදා පෙරවරු 9 වන විට 166 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් 5 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. අප්‍රේල් 4 දිනය තුළ නව ආසාදිතයින් වැඩි දෙනෙකු වාර්තා වූයේ නියැදි පරීක්ෂණ ආරම්භ කර බැවින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියා. මේ අතර අප්‍රේල් 4 සෙනසුරාදා දිනයේ දී කිහිප දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 134ක් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 273ක් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා.

5 වැනි මරණකරුත් වාර්තා වෙයි (අප්‍රේල් 4 පෙරවරු 10.00ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 5 වැනි මරණය අප්‍රේල් 4 උදෑසන වාර්තා වී තිබෙනවා. ඒ වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත 44 හැවිරිදි පුද්ගලයෙකු මිය යාමත් සමගයි. ඉතාලි‍‍යේ සිට පැමිණි නිරෝධායනයට යොමු වී සිට ඇති ඔහු මාර්තු 23 දින රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර මාර්තු 26 දින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. පසුව නියුමෝනියා තත්වය උත්සන්න වීමෙන් ඔහුගේ මරණය සිදු වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා. ඔහුට සැළකිය යුතු මට්ටමේ වෙනත් රෝගී තත්වයන් නොතිබූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියා.

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 4 සෙනසුරාදා පෙරවරු 9 වන විට 159 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 3 දිනය තුළ නව ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර අප්‍රේල් 3 සිකුරාදා දිනයේ දී 3 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 130ක් ලෙසයි සටහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ දී මිය ගිය ලාබාලතම පුද්ගලයා වන අතර ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මරණ අනුපාතය 3% ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ මේ වන විට සමස්ථ ආසාදිතයින් 159 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 5 දෙනෙකු මියගොස් 24 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

අදත් නව ආසාදිතයින් 8 දෙනෙකු සොයා ගනී (අප්‍රේල් 3 පස්වරු 11.30ට)

නව ආසාදිතයින් 8 දෙනෙකු තහවුරු වීමත් සමග ශ්‍රී ලංකාවේ දී තහවුරු වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 159 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 24 දෙනෙකු සුවය ලබා ඇති සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දිනයේ මේ වන තෙක් රෝගීන් වාර්තා වී නෑ (අප්‍රේල් 3 පස්වරු 05.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 3 සිකුරාදා පස්වරු 3 වන විට 151 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 2 දිනය තුළ නව ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති අතර එක් මරණයක්ද වාර්තා වී තිබෙනවා. මේ අතර අප්‍රේල් 3 සිකුරාදා දිනයේ දී තවත් අයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට සක්‍රීය ආසාදිතයින් 125 දෙනෙකු සිටින අතර ඉන් විදේශිකයින් 2කුද ඇතුළුව 99 දෙනෙකු IDH රෝහලේ ද 12 දෙනෙකු වැලිකන්ද රෝහලේ ද 14 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටී.

වෛරසයෙන් සිව්වැනි මරණයත් වාර්තා වෙයි (අප්‍රේල් 2 පස්වරු 10.00ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී සිදු වූ සිව්වැනි මරණයත් වාර්තා වේ. මිය ගිය නැදිමාල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි අයෙකු වන අතර ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වන බවයි වාර්තා වන්නේ. පසුගිය දිනෙක ඔහු සිය බිරිඳ සමග ඉන්දියාවේ සංචාරයක ගොස් මෙරටට පැමිණ ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයටද යොමු වී තිබෙනවා. පසුව රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහු සහ බිරිඳ ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පසුව ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර වෛරසයෙන් ශ්‍රී ලංකාවේ දී මිය ගිය තිදෙනාටම වෙනත් සැළකිය යුතු මට්ටමේ රෝග තිබූණත් සිව්වැනි පුද්ගලයාට එවැනි සැළකිය යුතු මට්ටමේ රෝග තිබී නැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා. ඔහු අනපේක්ෂිත ලෙස නියුමෝනියා තත්වයට පත්වීම මරණයට හේතු වී තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.

ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළට(අප්‍රේල් 2 පස්වරු 08.30ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 2 බ්‍රහස්පතින්දා පස්වරු 8 වන විට 151 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අප්‍රේල් 2 දිනය තුළ දැනට නව ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති අතර අප්‍රේල් 1 දින ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව එහිදී තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා.

ආසාදිතයින් සංඛ්‍යාව 148යි, මරණ 3යි, 21ක් සුව වෙයි (අප්‍රේල් 2 පස්වරු 01.30ට)

ශ්‍රි ලංකාවේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 2 බ්‍රහස්පතින්දා පෙරවරු 10 වන විට 148 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ මේ වන විට සක්‍රීය ආසාදිතයින් 124 දෙනෙකු සිටින අතර ඉන් විදේශිකයින් 2කුද ඇතුළුව 102 දෙනෙකු IDH රෝහලේ ද 9 දෙනෙකු වැලිකන්ද රෝහලේ ද 12 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටී.

2020.04.02

වෛරසය ආසාදිත බවට මෙතෙක් තහවුරු නොවූ එහෙත් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක 251 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද වසංගත රෝග විද්‍යා අංශය කියා සිටී.

මේ අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල තුළ ද කොවිඩ්-19 ආසාදිත බව හඳුනාගත හැකි උපකරණ ස්ථාපිත කර තිබෙන අතර ඒ සඳහා පෞද්ගලික රක්ෂණ සමාගමක මූල්‍ය අනුග්‍රහය හිමිව තිබෙනවා.

අප්‍රේල් 2 දින වන විට වාර්තා වූ ආසාදිතයින් 148 දෙනාගෙන් 34 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් සියළු දෙනා හමුවී ඇත්තේ එම මධ්‍යස්ථානවලට පරිබාහිර ප්‍රදේශවලිනි. ඒ අනුව වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 33ක්. මීට අමතරව පුත්තලමෙන් 25ක් ද, කළුතරින් 24ක් ද, ගම්පහින් 11ක්ද මහනුවරින් 4ක් ද, යාපනයෙන් 4ක්ද හමුවී තිබෙනවා.

3 වැනි මරණයත් වාර්තා වෙයි (අප්‍රේල් 1 පස්වරු 11.30ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදු වූ තුන්වැනි මරණය අප්‍රේල් 1 වැනිදා රාත්‍රීයේ දී වාර්තා විය. 73 හැවිරිදි මියගිය පුද්ගලයා මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් පෙලුනු අයෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියා.

ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට (මාර්තු 31 පස්වරු 08.00ට)

මාර්තු 31 පස්වරු 7 වන විට දිනය තුළ පමණක් නව කොවිඩ්-19 ආසාදිතයින් 20 තහවුරු කර තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මුලින් 7 දෙනෙකුත්, ඊට පසු 3කුත් සහ පසුව 10 දෙනෙකුත් එකවර තහවුරු කර තිබෙනවා. මේ අනුව මෙරටින් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට රෝහල්ගතව කොවිඩ්-19 වෛරසයට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 123ක් වන අතර, 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි (මාර්තු 30 පස්වරු 07.00ට)

මීගමුව රෝහලට ඇතුළත් කර සිටි නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයෙකු මියගොස් තිබේ. මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව මාර්තු 30 පස්වරු 7ට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය තහවුරු කර සිටියා.

අදාළ රෝගියා හෘද රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් මීගමුව රෝහලට ඇතුළත් වී ඇති අතර සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් සිදුකළ විමර්ශනවල දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් මාර්තු 30 දින පස්වරුවේ ඔහු මියගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ දී කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුවූ දෙවැනි මරණය මෙය වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

මාර්තු 30 පස්වරු 7 වන විට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 108 දක්වා ඉහළට (මාර්තු 30 පෙරවරු 11.45ට)

ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර එක් අයෙකු පමණක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ මාර්තු 29 ඉරිදා දින පමණක් නව ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති බවයි. මේ වන විට සක්‍රීය ආසාදිතයින් 108 දෙනෙකු සිටින අතර ඉන් විදේශිකයින් 2කුද ඇතුළුව 98 දෙනෙකු IDH රෝහලේ ද 9 දෙනෙකු වැලිකන්ද රෝහලේ ද 1ක් අයෙකු මුල්ලේරියා මූලික රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටී.

වෛරස් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක 114 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද වසංගත රෝග විද්‍යා අංශය කියා සිටී.

ශ්‍රී ලංකාවේ පළමු මරණය වාර්තා වෙයි (මාර්තු 28 පස්වරු 8.00ට)

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ පළමු මරණය වාර්තා වී තිබෙනවා. ඒ මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මාර්තු 28 සෙනසුරාදා පස්වරුවේ මියගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බවයි.

තවත් ආසාදිතයින් 4ක් සොයාගනී (මාර්තු 28 පස්වරු 4.05ට)

ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මාර්තු 28 සෙනසුරාදා පස්වරු 3.45 වන විට 110 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ පමණක් නව ආසාදිතයින් 4ක් තහවුරු වී තිබෙනවා.

සුවය ලැබූවන් 9 දක්වා ඉහළට, 5ක් දැඩි සත්කාරෙට, 199ක් ගැන සැකයි (මාර්තු 28 පස්වරු 12.15ට)

තවත් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය මාර්තු 28 දින වාර්තාව මගින් කියා සිටියා. මාර්තු 28 පෙරවරු 10.30 වන විට සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 97ක් වී ඇති අතර 9 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ 5 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර මාර්තු 27 සිකුරාදා දිනය තුළ කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නොතිබීමද විශේෂත්වයක්. සම්පූර්ණ දිනයක් තුළ ආසාදිතයෙකු වාර්තා නොවූ දෙවන අවස්තාවයි. මීට පෙර මාර්තු 25 වන බදාදා දිනය තුළද කිසිඳු ආසාදිතයෙකු වාර්තා වූයේ නැත.

ශ්‍රී ලංකාවේ වාර්තා වූ 106න් 7ක් සුව වෙයි, 3ක් දැඩි සත්කාරයට, තවත් කිහිප දෙනෙකු සුව අතට (මාර්තු 27 පස්වරු 12.15ට)

ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසන්නේ මාර්තු 27 දින වන විට තිදෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි. ඉන් දෙදෙනෙකු IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ද අනෙක් පුද්ගලයා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර ආසාදිත තත්වයෙන් දැනට ප්‍රතිකාර ලබන 99 දෙනාගෙන් 5 දෙනෙකු පමණ සුව අතට හැරී ඇතැයි IDH රෝහල පවසනවා. ඔවුන් පවසන්නේ අවසන් පරීක්ෂණ කිහිපයකින් පසුව ඔවුන්ට රෝහලෙන් පිටත්ව යා හැකිවනු ඇති බවයි.

සුවය ලැබූ 3 වැනියාත් රෝහලෙන් පිටවීමට සූදානම් (මාර්තු 25 පස්වරු 12.15ට)

ශ්‍රී ලංකාවේදී කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු කළ තවත් රෝගියෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය මාර්තු 25 වන බදාදා තහවුරු කර කළේය. ඒ ශ්‍රී ලංකාවේ දී සුවය ලැබූ 3වැනි ආසාදිතයායි. ඔහු ද මේ වන විට රෝහලෙන් පිටත් වීමට සූදානම් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මාර්තු 25 දින පස්වරු 12 වන විට තහවුරු වී ඇති මුළු ආසාදිතයින් ගණන 102ක් වන අතර ඉන් තිදෙනෙකු සුවය ලබා තිබෙනවා. තවත් 99 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් 2කුගේ තත්වය පමණක් බරපතල බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

ආසාදිතයින් 101ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ආසාදිත රටවල් අතර ඉහළට (මාර්තු 24 පස්වරු 04.45ට)

ශ්‍රී ලංකාවේ දී කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු කරගත් පුද්ගලයින් සංඛ්‍යාව 101 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මාර්තු 24 පස්වරු 4.25ට නිකුත් කළ නිවේදන අංක 80/2020 යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ තහවුරු කරගත් පුද්ගලයින් සංඛ්‍යාව චීන ජාතික කාන්තාවද සමග 101 දක්වා ඉහළගොස් ඇති බවයි.

DGI Release

මේ අතර කළුතර දිස්ත්‍රික්කය දැඩි අවදානමක් ඇති දිස්ත්‍රික්කයක් බවට පත් වී තිබෙනවා. මේ වන විට දැඩි අවදානමක් ඇති දිස්ත්‍රික්ක වී ඇත්තේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයි. ඒ අනුව බස්නාහිර පළාතම අවදානම් කලාපයක් බවට පත් වී තිබෙනවා. එය හඳුනා ගැනීමත් සමග බස්නාහිර පළාතට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය දීර්ග කිරීමටත් අත්‍යවශ්‍ය සේවා යටතේ ආහාර නිවසටම ලබා දීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීමටත් රජය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සහ සියළු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සාමාජිකත්වයෙන් විශේෂ කාර්ය සාධක බලකායක්ද පත් කර තිබෙනවා. මේ බව දක්වමින් ජනාධිපති කාර්යාලය අංක 1 යටතේ මාර්තු 24 පස්වරු 2ට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

PMD Release

මාර්තු 24 පෙරවරු 10.30 වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ තොරතුරු අනුව මාර්තු 23 දින දක්වා සොයා ගත් ආසාදිතයින් 97 දෙනාගෙන් 32කු වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර ඉතිරි 65 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට පරිබාහිරව වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 87 දක්වා ඉහළට (මාර්තු 23 පෙරවරු 11.45ට)

කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු කරගෙන ඇති සංඛ්‍යාව 87ක් දක්වා ඉහළගොස් ඇති බව මාර්තු 23 පෙරවරු 10.30ට නිකුත් කළ වාර්තාවෙන් වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එයින් 78 දෙනෙකු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

epid.gov.lk

ආසාදිතයින් සංඛ්‍යාව 82 දක්වා ඉහළට (මාර්තු 22 පස්වරු 5.45ට)

කොවිඩ්-19 ආසාදිත බව ශ්‍රී ලංකාවේදී තහවුරු වී ඇති සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බව මාර්තු 22 ඉරිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ 73/2020 නිවේදනයෙන් කියා සිටී. මාර්තු 22 දිනයේ පමණක් පස්වරු 5.25 වන විට නව ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වී ඇති බව එහි දැක්වේ.

ආසාදිතයින් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයට (මාර්තු 22 පෙරවරු 9.45ට)

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි. මාර්තු 22 වන විට මුල්ලේරියාව මූලික රෝහල සම්පූර්ණයෙන්ම ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර අවසන් කර ඇති බවද ඔහු කියා සිටියා. මීට අමතරව වෛරසය ආසාදිත බවට සැක කෙරෙන ගැබිණි මව්වරුන්ට ඇතුළත් කිරීම සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයත්, වෛරසය ආසාදිත අයට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් රෝහලත් සූදානම් කරමින් සිටින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

ශ්‍රී ලංකාවේ දී තහවුරු වූ ආසාදිතයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළට (මාර්තු 21 පස්වරු 9.00ට)

ශ්‍රී ලංකාවේ දී කොවිඩ්-19 වෛරසය ආසාදිත බව තහවුරු කරගත් පුද්ගලයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මාර්තු 21 සවස 4ට පැවසුවේ තවත් කොරෝනා වෛරස ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වු බවයි. එම ආසාදිතයින් අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන බවත් අදාළ රෝගීන් පොළොන්නරුවේ රෝගීන් බවත් සෞඛ්‍ය ඇමතිවරිය අනාවරණය කළා. පසුව පස්වරු 6.05ට නිකුත් කළ නිවේදන අංක 69/2020 යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ තහවුරු කරගත් පුද්ගලයින් සංඛ්‍යාව 77 දක්වා ඉහළගොස් ඇති බවයි.

2කට බරපතල බවට වාර්තා නෑ – වසංගත රෝග විද්‍යා අංශය (මාර්තු 21 පස්වරු 1.00ට)

කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වී ඇති රෝගීන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවට මාධ්‍ය වාර්තා පළ වී තිබීම පිළිබඳ කළ විමසීමකදී වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ එවැනි වාර්තාවක් තමන් වෙත ලැබී නැති බවයි. මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් 2කු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මාර්තු 20 දින සඳහන් කළා. මාර්තු 20 දින තහවුරු වී ඇති මුළු ආසාදිතයින් ගණන 6කි. ඒ අනුව මාර්තු 21 පෙරවරු 10 වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛයාව 72ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එයින් දෙදෙනෙකු සුවය ලබා ඇති අතර අනෙක් 70 දෙනාම මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ තවමත් රෝහල්ගතව සිටින බව වසංගත රෝග අංශය තහවුරු කළා. තවත් 245 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

2020.03.21 දක්වා තත්වය

තවත් ආසාදිතයින් 11ක් හමුවෙයි, 70 දක්වා ඉහළට (මාර්තු 20 පස්වරු 5.20ට)

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් තවත් 11 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. මේ අතර ශ්‍රී ලංකාවේදී වාර්තා වූ පළමු ශ්‍රී ලාංකිකයා වූ සංචාර මගපෙන්වන්නා පූර්ණ සුවය ලබා ඇති බවද ඔවුන් තහවුරු කර සිටියා.

2020.03.20 දක්වා තත්වය

මේ වන ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 70ක් සොයගෙන ඇති අතර ඉන් 2ක් පූර්ණ සුවය ලබා ඇති අතර ඉතිරි 68 දෙනා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ අතර මාර්තු 20 දිනයට නියමිතව තිබූ කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවද අවලංගු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රමාණය 60 දක්වා යළි ඉහළ යයි, දිනය තුළ 7ක් (මාර්තු 19 පස්වරු 4.20ට)

තවත් රෝගීන් 7 දෙනෙකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියා සිටී. මාධ්‍ය සාකච්ඡාව ආරම්භයේ දී සිව් දෙනෙක් වාර්තා වූ අතර මාධ්‍ය සාකච්ඡාව අතරතුර තවත් තිදෙනෙකුද වාර්තා වී තිබෙනවා. එම සිව් දෙනා අතර ජර්මනියේ සිට පැමිණි මැණික් ව්‍යාපාරිකයාට සම්බන්ධ දෙදෙනෙක් සහ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙක් ඒ අතර සිටින බව මාර්තු 19 දින ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ පැවතෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අනාවරණය කළා.

දැනට ප්‍රතිකාර ලබන රෝගීන් අතර ඉන්දීය ජාතිකයෙකු හා ප්‍රංශ ජාතිකයෙකුද සිටින බව සෞඛ්‍ය අංශ තහවුරු කර සිටියා. ආසාදනය වී ඇති පිරිස අතරින් 45%ක් වයස අවුරුදු 41-50 අතර පිරිසක් බව ද අනාවරණය කර සිටියා.

ඒ අනුව මාර්තු 18 අවසන් වාර්තාව නිකුත් කළ පසු වාර්තාවූ රෝගීන් දෙදෙනාද, මාර්තු 19 දින සවස 4 තෙක් වාර්තා වී ඇති රෝගීන් සිව් දෙනාද ඇතුළුව ආසාදිත තත්වයෙන් සිටින රෝගීන් සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුව වූ චීන ජාතික කාන්තාවද සමග ශ්‍රී ලංකාවේ තහවුරු කළ සංඛ්‍යාව 57කි.

ශ්‍රී ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 50 ඉක්මවයි (මාර්තු 18 පස්වරු 5.00ට)

මාර්තු 18 බදාදා “කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ” දී පැවති මාධ්‍ය හමුවේදී ඉදිරිපත් වූ සංඛ්‍යා පිළිබඳ ඇති වූ ගැටළුවකදී ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ පැහැදිලි කිරීමක් කළේය. ඒ අනුව මාර්තු 17 දින ගණනය කිරීම වැරදී ඇති බව දිනය අවසන් වන විට චීන ජාතික පළමු කාන්තාව හැර ආසාදිතයින් 41 දෙනෙකු තහවුරු වී තිබෙන බව අනාවරණය කළේය. ඊට අමතරව මාර්තු 18 දිනයේ සවස 4.30 වන නව ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ අනුව සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 50ක් බවත් සඳහන් කළා. ඊට සුවය ලැබූ චීන ජාතික කාන්තාව ඇතුළත් නොමැති බවද තහවුරු කළා. ඒ අනුව ඇයද සමග ශ්‍රී ලංකාවෙන් සොයාගත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ඇති සංඛ්‍යාව 51ක් බව තහවුරු කළේය.

කෙසේ වෙතත් අමාත්‍ය රමේෂ් පතිරණ මාර්තු 17 දින නාම යෝජනා බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ආසාදිතයින් 2ක් සුවය ලබා ඇති බවයි. නමුත් එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙතෙක් තහවුරු කර නැත.

මාර්තු 18 බදාදා දිනය තුළ පමණක් නව ආසාදිතයින් 9ක් වාර්තා වී ඇති බව මාර්තු 18 දින සවස 4.30ට එම මාධ්‍ය හමුවේදීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා.

මේ අතර දැඩි කොන්දේසි මත පෞද්ගලික රෝහල්වලදීද පීසීආර් පරීක්ෂණය සිදුකිරීමට අවසර දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා. එහිදී අදාළ පරීක්ෂණ පිළිබඳ සියලු තොරතුරු අමාත්‍යංශය වෙත දැනුම් දිය යුතු අතර අදාළ පරීක්ෂණයේ ප්‍රතිඵල පැය 24ක් තුළ ලබා දිය යුතු බවද සඳහන් විය. එහිදී රු. 6000 උපරිම මිලක්ද නියම කර තිබෙන බව අනිල් ජාසිංහ සඳහන් කළා.

මාර්තු 17 පමණක් නව ආසාදිතයක් 15ක් හඳුනාගනී, මුළු ගණන 44යි (මාර්තු 17 පස්වරු 9ට)

මාර්තු 17 දිනය තුළ පමණක් නව ආසාදිතයින් 15 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා. ඉන් 6 දෙනෙකු පිළිබඳ රාජගිරියේ පිහිටවූ “කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ” පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ හෙළි කළා. එම රෝගී පුද්ගලයින් 06 දෙනාගෙන් එක් අයෙකු දෙවනුවට හමු වූ සංචාරක මඟ පෙනවන්නාගේ බිරිඳ බවට තහවුරු කර ගෙන ඇතැයි ද, තවත් පුද්ගලයෙකු පෙර රෝගී ව හමු වූ ජර්මනියේ සංචාරය කළ අයට සම්බන්ධ කෙනකු බවද, තවත් අයෙකු එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු බවද කැලණිය, මාරවිල ප්‍රදේශවලින් රෝගීන් දෙදෙනෙකු මෙන්ම අවුරුදු 25 ක උඩුගම්පොල ප්‍රදේශයේ කටාර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු ද සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

ඉන් පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී 7.15ට නිකුත් කළ අංක 60/2020 දරණ නිවේදනයෙන් තවත් ආසාදිතයින් 9 දෙනෙකු සොයාගත් බව අනාවරණය කර තිබුණා. එහෙත් ඔවුන්ගේ විස්තර අන්තර්ගත වී තිබුණේ නැත.

ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව මාර්තු 17 රාත්‍රී 9 වන විට 44ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පළමුව සොයාගත් චීන ජාතික කාන්තාව පමණක් ඉන් සුවය ලබා රෝහලෙන් හා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

දිනක් තුළ නව ආසාදිතයින් 10ක් ශ්‍රී ලංකාවෙන් (මාර්තු 16 පස්වරු 9ට)

අද දිනය තුළ පමණක් නව ආසාදිතයින් 10ක් තහවුරු වී තිබෙනවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්තු 16 සඳුදා පස්වරු 8.50ට නිකුත් කළ 57/2020 නිවේදනය මගින් නව ආසාදිතයින් 6ක් සොයාගත් බව තහවුරු කිරීමත් සමගයි.

ඒ අතර ප්‍රථම වරට ආසියානු රටක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර ඔහු ඉන්දියාවේ කේරලයේ සිට පැමිණ ඇත. අනෙක් පිරිසෙන් එක් අයෙකු මීට පෙර සැක පිට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු වන අතර අනෙකුත් 4 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පිරිසකි.

ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පළමුව සොයාගත් චීන ජාතික කාන්තාව පමණක් ඉන් සුවය ලබා රෝහලෙන් හා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

තවත් ආසාදිතයෙක් හමුවෙයි (මාර්තු 16 පස්වරු 4.45)

මාර්තු 16 පස්වරු 4.30 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව 22 ශ්‍රී ලාංකික ආසාදිතයා වාර්තා වී තිබෙනවා. ඒ අනුව පළමු චීන ජාතික කාන්තාව සමග මුළු ආසාදිතයින් සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් ආසාදිතයින් 3ක් සොයාගැනේ, ආසාදිතයින් ප්‍රමාණය 22 දක්වා ඉහළට (මාර්තු 16 පස්වරු 3ට)

දැරියක් ඇතුළු තිදෙනෙකුට කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වී තිබෙන බව මාර්තු 16 සඳුදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අනාවරණය කරනු ලැබුවා.

ඉතාලියේ සිට පැමිණ ඇති එම තිදෙනා අතර වයස අවුරුදු 13 ගැහුණු දරුවෙක් හා වයස අවුරුදු 50 ක හා 37 ක් වු පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සිටී. ඔවුන් සැක පිට අංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. මේ වන විටත් ඔවුන් එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

ශ්‍රී ලංකාවේ දිනක් තුළ නව ආසාදිතයින් 8ක් සොයාගැනේ, ආසාදිතයින් 19 දක්වා ඉහළට (මාර්තු 15 පස්වරු 9.30ට)

කොවිඩ්-19 වෛරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 7 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව මාර්තු 15 ඉරිදා රජයේ ප්‍රවෘත්ති නිවේදන අංක 47/2020 යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම රෝගීන් 7දෙනා පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලියට ලක් කර සිටි අය වන බව සඳහන්. එම ආසාදිතයින් සියලු දෙනා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මාර්තු 15 රාත්‍රී 9 වන විට රට තුළ සමස්ථ ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වී තිබෙන අතර පළමුව වාර්තා වූ චීන ජාතික කාන්තාව පමණක් සුවය ලබා රෝහලෙන් හා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. මීට පෙර වාර්තා වූ 11 දෙනා කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 12 දක්වා ඉහළට, ජර්මනියේ සංචාරය කළ දෙවැනියා (මාර්තු 15 පස්වරු 6.30ට)

කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වූ තවත් පුද්ගලයෙකු හඳුනාගත් බව මාර්තු 15 සවස 6ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කළා.

45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන ඔහුද කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මීට පෙර වාර්තා වූ ජර්මනියේ සංචාරය කර පැමිණ ආසාදිත බව තහවුරු වූ පුද්ගලයා සමගම සංචාරය කළ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා.

මේ වන විට දිවයිනේ විවිධ රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් සියලු දෙනා IDH රෝහලට ඇතුළත් කර තිබෙන බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.

මාර්තු 15 සවස 6 වන විට රට තුළ සමස්ථ ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී තිබෙන අතර පළමුව වාර්තා වූ චීන ජාතික කාන්තාව පමණක් සුවය ලබා රෝහලෙන් හා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඉතිරි 11 දෙනාම කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 11 දක්වා ඉහළට (මාර්තු 14 පස්වරු 10ට)

කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු තහවුරු වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්තු 14 පස්වරුවේ නිකුත් කළ නිවේදනයකින් තහවුරු කර තිබෙනවා.

එම දෙදෙනාගෙන් එක් අයෙක් 56 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය මාර්තු 7 වැනිදා ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇය නිරෝධායනය සඳහා යොමු වූ අයෙකු නොවන බවද වාර්තා වේ.

අනෙක් තැනැත්තිය 17 හැවිරිදි තරුණියක් වන අතර ඇය මීට පෙර වාර්තා වූ ආසාදිතයෙකුගේ ඥාති දියණියක් බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මාර්තු 14 රාත්‍රී 10 වන විට රට තුළ සමස්ථ ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙන අතර පළමුව වාර්තා වූ චීන ජාතික කාන්තාව පමණක් සුවය ලබා රෝහලෙන් හා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඉතිරි 10 දෙනාම කොළඹ බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තවත් ආසාදිතයින් 2ක් හමුවෙයි – ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 8 දක්වා ඉහළට (මාර්තු 14 පස්වරු 3ට)

ඉතාලියේ සිට පැමිණි තවත් ආසාදිතයින් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදිත බව මාර්තු 14 සෙනසුරාදා තහවුරු වී තිබෙනවා.

මාර්තු 14 සවස විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මේ සම්බන්ධයෙන් හෙළිදරව් කර සිටියා. මෙම සංඛ්‍යාව මාර්තු 14 රාත්‍රිය වන විට තවත් ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළා.

එබැවින් වහාම සෙනඟ රැස්වන ස්ථානවලින් හැකිතාක් ඉවත්ව සිටින ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

කොවිඩ්-19 ආසාදිතයින් තවත් 3ක් ශ්‍රී ලංකාවේ (මාර්තු 13 පස්වරු 7ට)

කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු අලුතින් තහවුරු වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිකුත් කළ නිවේදනයක් මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කරයි.

ඒ අතර ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 37 හැවිරිදි සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු හා ජර්මනියේ සිට පැමිණි 41 හැවිරිදි පුද්ගලයෙකු වන බව සඳහන්. ඔවුන් අතරින් ජර්මනියේ සිට පැමිණි පුද්ගලයා සහ ඉතාලියේ සිට පැමිණි 37 හැවිරිදි පුද්ගලයා අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනෙක් පුද්ගලයා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව මාර්තු 13 වන විට 6ක් වන අතර ඉන් පළමු වැනියා චීන ජාතික කාන්තාව වන අතර ඇය සුවය ලබා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අනෙක් 5 දෙනාම දැනට ආසාදිත තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටී.

කොවිඩ්-19 ආසාදිත 3වැනියාත් ශ්‍රී ලංකාවෙන් හමුවේ (මාර්තු 12 පස්වරු 6ට)

කොවිඩ්-19 ආසාදිතව ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවැනි ශ්‍රී ලාංකිකයා මාර්තු 12 දහවල් වන විට තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 3ක් වන අතර පළමු වැන්නිය චීන ජාතික කාන්තාවයි. ඇය සුවය ලබා දිවයිනෙන් පිටත්ව ගියාය. දෙවැනි රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කළ මාර්තු 10 දින වාර්තා වූ පුද්ගලයා වන අතර තුන් වැනි රෝගියා අදාළ සංචාරක මග පෙන්වන්නා සමග සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ්-19 ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා සංචාරක මග පෙන්වන්නෙක්

ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ්-19 අසාදිත ශ්‍රී ලාංකික පුද්ගලයා හමුවී තිබෙනවා. මේ වන විට අංගොඩ බෝවන රෝග නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් පරීක්ෂණ කිහිපයක්ම සිදුකිරීමට නියමිත බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියා.

ඔහුගේ දරුවන් හා පවුලේ සියළු දෙනාවද නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියා. අදාළ පුද්ගලයා සංචාරක මග පෙන්වන්නෙකු බවත් පසුගිය කාලය තුළ ඉතාලි සංචාරකයින් පිරිසක් සමග කාලය ගත කර ඇති බවත් මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ තත්වය සාමාන්‍ය බවත් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවත් රෝහල් ආරංචි මාර්ග කියා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top