,
Covid-19

දඹදිව වන්දනාවේ ගිය 1500ම ලංකාවට

ඉන්දියාවේ සිට මෙරටට පැමිණිමට නොහැකිව සිටි සියලුම බෞද්ධ වන්දනාකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වාගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.

මාර්තු 22 නිවේදනයක් නිකුත් කරමින් දිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ මාර්තු 22 සවස 5.10ට නවදිල්ලියෙන් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂිත යානයකින් ඉන්දියාවේ රැඳි සිටි අවසන් පිරිසත් ශ්‍රී ලංකාවට පිටත් කර හැරි බවයි.

ඉන්දියාව එරටට ඇතුළු වන වාණිජ මගී ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපලවල් වසා දැමීමට පෙර මාර්තු 22 සවස 5:10 ට නවදිල්ලියෙන් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂිත ගුවන් යානය මඟින් බෞද්ධ වන්දනාකරුවන් 48 දෙනෙකු ආපසු පැමිණීමත් සමඟ, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව සිටි සියලුම ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් ශ්‍රී ලංකාවට පිටත් කළ බව එම නිවේදනයේ දැක්වේ.

එදිනම සවස 3.00 ට චෙන්නායි සිට පිටත් වූ තවත් විශේෂිත ශ්‍රී ලංකන් ගුවන් යානයක් මඟින් බෞද්ධ වන්දනාකරුවන් 97 දෙනෙකු කොළඹට පිටත් කරන ලද අතර, මාර්තු 22 වැනි දින ශ්‍රී ලංකාවට ආපසු පැමිණි මුළු වන්දනාකරුවන් සංඛ්‍යාව 145 දෙනෙක් බවද සඳහන් කරයි.

මාර්තු 21 වැනි දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 196 දරන ගුවන් යානයෙන් සම්පූර්ණ වශයෙන් වන්දනාකරුවන් 298 දෙනෙකු නවදිල්ලියෙන් පිටත්ව ආ අතර, එම ගුවන් යානය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වී තිබුනේ රාත්‍රී 7.31 ටය.

මෙරටට පැමිණෙන වාණිජ මගී ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපලවල් තාවකාලිකව වසා දමන බව ශ්‍රී ලංකා රජය නිවේදනය කරන අවස්ථාව වන විට, ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1500 දෙනෙකු පමණ ඉන්දියාවේ රැඳී සිටි බවත්. එතැන් සිට ඒ අතරින් වන්දනාකරුවන් පිරිසක් කල් තබාම නියමිත වාණිජ ගුවන් ගමන් මඟින් ඉන්දියාවෙන් පිටත්ව ගිය බවත් පසුව අතරමං වූ වන්දනාකරුවන් නැවත ගෙන්වා ගැනීම සඳහා යොදවන ලද ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ විශේෂිත ගුවන් යානා මගින් ගෙන්වා ගත් බවත් එහි දැක්වේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය සහ බුද්ධශාසන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය වී නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින්, මෙම වන්දනාකරුවන්ගේ ආපසු පැමිණීමට පහසුකම් සැලසීම සඳහා මාර්තු 21 සහ 22 දිනවල දී නවදිල්ලියේ හා චෙන්නායි ශ්‍රී ලංකන් ගුවන් සේවා කාර්යාල සමඟ මෙන්ම මෙම සංචාරක කණ්ඩායම් සමඟ ද සමීපව කටයුතු කරන ලද බව ඔවුන් කියා සිටී. ටිකට්පත් නැවත සකස් කිරීම මෙන්ම දිල්ලියේ සහ චෙන්නායි හි ජාත්‍යන්තර ගුවන් තොටුපලවල දී ලබා දෙන ලද සහය ද මෙම ප්‍රයත්නවලට ඇතුළත් විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි මෙම වන්දනාකරුවන් සාර්ථකව ආපසු මෙරටට රැගෙන ඒම සඳහා සහාය වීම වෙනුවෙන්, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ගුවන්තොටුපල බලධාරීන් ඇතුළු ඉන්දීය රජයේ අදාළ ආයතනවලට, නවදිල්ලියේ සහ චෙන්නායි හි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්යාලවලට, ඉන්දියාවේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානවල හා බෞද්ධ සිද්ධස්ථානවල මෙන්ම නවදිල්ලියේ ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාවේ වෙසෙන පූජනීය භික්ෂූන් වහන්සේලාට ද, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය ඉමහත් කෘතඥතාවය පළ කරන බවද කියා සිටී.

ශ්‍රී ලංකාවට එලෙස එවූ වන්දනාකරුවන් අනුරාධපුර, ඉරණමඩු ආදි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුධ හමුදාව පවසයි.

Rivira Ads
To Top