,
Covid-19

බස්නාහිර පළාතට දැඩි අවදානමක්, ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු, අත්‍යවශ්‍ය ආහාර නිවසටම

මේ අතර කළුතර දිස්ත්‍රික්කය දැඩි අවදානමක් ඇති දිස්ත්‍රික්කයක් බවට පත් වී තිබෙනවා. මේ වන විට දැඩි අවදානමක් ඇති දිස්ත්‍රික්ක වී ඇත්තේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයි. ඒ අනුව බස්නාහිර පළාතම අවදානම් කලාපයක් බවට පත් වී තිබෙනවා. එය හඳුනා ගැනීමත් සමග බස්නාහිර පළාතට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය දීර්ග කිරීමටත් අත්‍යවශ්‍ය සේවා යටතේ ආහාර නිවසටම ලබා දීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීමටත් රජය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ලේකම්වරු සහ සියළු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සාමාජිකත්වයෙන් විශේෂ කාර්ය සාධක බලකායක්ද පත් කර තිබෙනවා. මේ බව දක්වමින් ජනාධිපති කාර්යාලය අංක 1 යටතේ මාර්තු 24 පස්වරු 2ට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත. සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගැනේ.

ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇත.

Rivira Ads
To Top