කොවිඩ්-19

Breaking: මියගිය ශ්‍රී ලාංකිකයින් ගණන 4 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් පසු ලොව පුරා ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයින් ගණන 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

70 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන හෙන්රි ජයවර්ධන මෙලසෙ මියගොස් ඇති බව වාර්තා වේ. ඔහු එක්සත් රාජධානියේ දී වෛරසය වැළඳී මියගොස් ඇති අතර එක්සත් රාජධානිය තුළ කොරෝනා වෛරසය නිසා සිදුවූ දෙවැනි ශ්‍රී ලාංකික මරණයයි.

වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ පළමු වරට ශ්‍රී ලාංකිකයෙකුගේ මරණයක් වාර්තා වූයේ ස්විට්සර්ලන්තයෙන් වන අතර ඔහු 59 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙකි. ඔහු යාපනයේ පුංගුඩුතිව් ප්‍රදේශයේ උපන් අයෙක් වන අතර කොරෝනා රෝගයට ගොදුරු වූ ඔහු නිවසට වී ස්වයං නිරෝධානයක යෙදෙන්නැයි උපදෙස් ලැබී ඇති අතර අසල නිවසකින් ආහාර සැපයීම සිදුකර තිබෙනවා. එහෙත් මාර්තු 26 දින උදෑසන ආහාර දීමට පැමිණි පුද්ගලයා නිවසේ සීනුව කිහිපවරක් නාද කළද ඔහු දොර විවෘත කර නොමැති අතර බලධාරීන්ට දැනුම් දීමෙන් පසු දැන ගෙන ඇත්තේ මාර්තු 25 දින රාත්‍රීයේදී ඔහු නිවස තුල මිය ගොස් ඇති බවයි. ඔහුගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේ දී සිදුකර තිබෙන අතර ඔහුද දියවැඩියා රෝගයෙන් පෙළුනු අයෙක් බව එරට ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර මාර්තු 28 දින ශ්‍රී ලංකාවේදී සිදුවූ පළමු මරණය වාර්තා විය. ඒ මාරවිල ප්‍රදේශයේ ජීවත් වූ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බවයි.

ඒ සමගම මාර්තු 28 දිනයේ දීම 55 හැවිරිදි මහරගම, වත්තෙගෙදර ප්‍රදේශයේ පදිංචි ලක්ෂේන් විජේරත්න ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේදී මියගිය බව තහවුරු වී තිබෙනවා.

මීට පෙර අවස්ථාවක ඉතාලියේ සිටි ශ්‍රී ලාංකිකයෙකු මරණය පත් වූ බවට වාර්තා වුවද එය තහවුරු කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

ඒ අනුව මාර්තු 29 දින වන විට තහවුරු කරන ලද ශ්‍රී ලාංකික මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top