කොවිඩ්-19

පුත්තලම ගමක් නිරෝධායනයට, මහනුවරත් ග්‍රාමයක් වසා දමයි

අවසන්වරට යාවත්කාලීන කිරීම (මාර්තු 29 පස්වරු 5.00ට)

පුත්තලම කුඩුමයන්කුලම ග්‍රාමය වසා දමා ඇති බව මුලින් වාර්තා වුවද එම ග්‍රාමය නිරෝධයානයට ලක් කිරීම පමණක් සිදුකර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා තහවුරු කළේය.

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රදේශ කිහිපයක්ම වසා දැමීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ එම ප්‍රදේශවලින් හමුවූ රෝගීන් තවත් පුද්ගලයින් ඇසුරු කර ඇති බවට ලැබුණු තොරතුරු අනුවයි.

මහනුවර අකුරණ ප්‍රදේශයේ එක් ගම්මානයක් ද මෙලෙස වසා දමා තිබෙනවා. එම ප්‍රදේශයෙන් වෛරස් ආසාදිතයින් හමුවීමත් සමගම මාර්තු 28 රාත්‍රියේ සිට එම ග්‍රාමය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ පුත්තලම, කුඩයම්කුලම ප්‍රදේශයේ ගම්මානයක පිරිසක්ද එම ගම්මානය තුළ සැකසූ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවරගත් බවයි.

පුත්තලම කුඩුමයන්කුලම් ප්‍රදේශයේ දි හමුවු ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් මෙලෙස නිරෝධායනය කිරිමට කටයුතු කරන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩා කියා සිටියා. ඒ සඳහා පුත්තලම සහිරා ජාතික පාසලේ කොටසක නිරෝධායන මධ්‍යස්ථානයක් සැකසීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව පුත්තලමේ යුද හමුදාව විසින් ඉදිකරන නිරෝධායන මධ්‍යස්ථානයේ එම ගම්මානයේ පදිංචි පුද්ගලයින් 118 දෙනෙකු නිරෝධායනය කිරීමට කටයුතු කරනු ලබනවා.

පුත්තලම, කුඩුමයන්කුලම් ප්‍රදේශයේදී හමුවු ආසාදිතයා සිය පවුලේ උදවිය හා තවත් පිරිසක් සමඟ යාඥා සදහා සහභාගි වී ඇති බවත් එලෙස සහභාගී වූ දේවස්ථාන 3ක පිරිසක් මෙසේ නිරෝධායකය කිරිමට නියමිත බවත් වාර්තා වේ.

මීට පෙර කළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය ද, මේ වන විට මහනුවර ග්‍රාමයක්ද සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර ආරක්ෂාවද තර කර තිබෙනවා. කිසිවෙකුටත් අදාළ ගම්මානවලට ඇතුල් වීමට හෝ පිටවීමට නොහැකි බව යුධ හමුදාපතිවරයා පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top