,
Covid-19

වෛරසයෙන් මිය ගිය 3වැනි පුද්ගලයා ගැන තවත් තොරතුරු හෙළිවෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී සිදු වූ තුන්වැනි මරණය අප්‍රේල් 1 වැනිදා රාත්‍රීයේ දී වාර්තා විය. 73 හැවිරිදි මියගිය පුද්ගලයා මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් පෙලුනු අයෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටි අදාළ පුද්ගලයා වෛරසය නිරාවරණය වීමට ඉඩ තිබූ බව මුලින් පවසා නැති අතර පසුව ඒ සම්බන්ධයෙන් සැක මත කළ පරීක්ෂණයකදී වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබුණි. ඒ අනුව ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කරන IDH රෝහලට මාරු කිරීමට පියවර ගෙන ඇති අතර ඔහුව එම රෝහලට ඇතුළත් කරගන්නා අවස්ථාව වන විට මියගොස් ඇති බව අනිල් ජාසිංහ පැවසුවේය.

ඔහු ද වෙනත් රෝගී තත්වයන්ගෙන් පීඩා විඳි අයෙකු වන අතර ඔහු දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපනවීම ආදි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳි අයෙකු බව අනාවරණය වී තිබේ.

ඔහු රෝහල්ගත වී ඇත්තේ ද කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වය උත්සන්න වු අවස්ථාවේදී බව අනිල් ජාසිංහ අනාවරණය කර සිටියේය.

මේ වන විට ඔහු ජීවත් වූ මරදානේ ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම හුදෙකලා කර ඇති අතර 800කට වැඩි පිරිසක් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර තිබේ. මිය ගිය පුද්ගලයා රෝගය උත්සන්න වන තෙක්ම නිවසේ සිටීම හේතුවෙන් නිවැසියන්ද නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති බව ද වාර්තා වේ.

Rivira Ads
To Top