,
News

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට තව පැය කිහිපයක්

සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල් 13 දිනට යෙදී තිබෙනවා.

මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව අද (අප්‍රේල් 13) අපරභාග 8.23ට සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදා වෙයි. පුණ්‍ය කාලය අප්‍රේල් 13 අපරභාග 1.59 සිට පසුදින අළුයම 2.47 දක්වා ක්‍රියාත්මකයි. එබැවින් අපරභාග 1.59ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන්.

ආහාර පිසීම පිළිබඳ නැකැත් පත්‍රයේ සඳහන් පරිදි “අප්‍රේල් 13 දින අපරාභාග 10.05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙළ කර ගැනීම මැනවි” යනුවෙනි.

අප්‍රේල් 13 අපරභාග 10.43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වෙයි.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වැනිදාට යෙදී තිබේ. අප්‍රේල් 15 දින පූර්වභාග 09.17ට යෙදෙන නැකතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොළොන්පත් ද තබා හරිත වරණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කළ යුතු යැයි නැකැත් පත්‍රයේ සඳහන් වෙයි.

එහෙත් මෙවර අවුරුදු සැමරීම පිළිබඳ රජයෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. කොඩිඩ්-19 වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරමින් සමරන ලෙස රජය ඉන් ඉල්ලා සිටියි.

එසේම කිසිඳු අවුරුදු උත්සවයක් හෝ එවැනි යමක් සංවිධානය කිරීම පොලීසිය විසින් තහනම් කර තිබෙනවා. එලෙස යම් සංවිධානය කිරීමක් සිදුවුවහොත් නිරෝධායන නීති යටතේ කටයුතු කරනු ලබන බව පොලීසිය දන්වයි.

සමස්තයක් ලෙස ගත්කළ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය මෙරට සියලු ජනතාව දැඩි වගකීමකින් යුක්තව සමරනු ලබන බවද නිරීක්ෂණය වේ.

Rivira Ads
To Top