,
News

“රන්ජන් අත්අඩංගුවට ගත්තේ බඩගින්නට කන්න දීපු නිසා නොවේ”, හේතුව මෙන්න

අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අප්‍රේල් 14 වන අඟහරුවාදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසීය කියයි.

පොලිස් රාජකාරියට බාධා කිරීම හා ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව අප්‍රේල් 13 පස්වරුවේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මෙම සිදුවීමට පාදක වී ඇත්තේ ඇඳිරි නීති කොන්දේසි කඩ කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක වීමේදී රන්ජන් රාමනායක විසින් ඊට බලපෑම් කිරීම බවයි වාර්තා වෙන්නේ. හිටපු මන්ත්‍රීවරයාගේ ආහාර බෙදා දීමේ ක්‍රියාවලිය සහ මෙම සිදුවීම අතර කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව මිරිහාන පොලීසිය කියා සිටිනවා. පිළියන්දල ප්‍රදේශයේ සිට කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු රන්ජන් රාමනායක හමුවිය යුතු බවත් පවමින් අප්‍රේල් 13 පස්වරුවේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වෙත පැමිණ තිබෙනවා. එහි දී මන්ත්‍රී නිවාසයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ඔහුගේ ඇඳිරි නීති බලපත්‍රය සම්බන්ධයෙන් විමසා සිට ඇත.

එම අවස්ථාවේ අදාළ පුද්ගලයා සන්තකයේ වලංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොතිබූ බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කරමින් අදාල පුද්ගලයා තම නිවාස සංකීර්ණය වෙත රැගෙන යාමට උත්සාහ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. එහිදි අදාළ පුද්ගලයා තම භෞතචිකිත්සකවරයා බවත් රජයේ සේවකයෙකු බවත් වියලි ආහාර ගෙනෙන්නේ ඔහුගේ රථයේ බවත් පවසා සිටින අයුරු හිරු පුවත් විසින් පළ කළ වීඩියෝවේ දැක්වෙනවා. එහිදී තමා ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත් පුද්ගලයා බව කී රන්ජන් රාමනායක පවසන්නේ නිල නිවාසවල මාස 6කට රැඳී සිටීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර දුන් බවයි.

පසුව ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත හා ඇඳිරි නීතිය කඩ කිරීම සඳහා ආධාර අනුබල දීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ ඔහු හමුවීමට පැමිණි පුද්ගලයා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ඔහු හමුවීමට පැමිණි පුද්ගලයා අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හිරු මාධ්‍ය ආයතනය වෙත ලිපියක් යොමු කරමින් රජයේ භෞතචිකිත්සකවරුන්ගේ සංවිධානය පවසන්නේ අදාළ පුද්ගලයා භෞතචිකිත්සකවරයෙකු නොවන බව තමන් වෙත තහවුරු වී ඇති බවයි. එමෙන්ම බොහෝ දෙනෙකු අදාළ නාමය අවභාවිතා කරන තත්වය පිළිබඳ කාලයක සිට රජය දැනුවත් කළ ද මෙතෙක් නිසි පියවරක් ගෙන නැති බවද එම ලිපියේ සඳහන්. එමෙන්ම අදාළ පුද්ගලයා රජයේ සේවකයෙකුද නොවන බව එම එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

දර්ශන හිරු පුවත්

Rivira Ads
To Top