,
News

පාස්කු සිදුවීමට සම්බන්ධ බව කියන නීතිඥවරයා පිළිබඳ නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් කරුණු විමසයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා තිබෙනවා.

අප්‍රේල් 15 දින පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස කියා සිටින්නේ අප්‍රේල් 14 රාත්‍රියේ දී අදාළ නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව තමන්ට දැන ගැනීමට ලැබුණු බවයි.

අප්‍රේල් 15 දින පස්වරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත කරුණු දැක්වීමට පෙර යොමු කර ඇති ලිපියේ මෙසේද දැක්වේ. “අපට ලැබී ඇති තොරතුරුවලට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැත. දැනට ලැබී ඇති තොරතුරු අනුව සඳහන් වන්නේ අත්අඩංගුවට ගැනීම පදනම වී ඇත්තේ හිස්බුල්ලා මහතා නීතිඥයෙකු ලෙස ඔහුගේ වෘත්තීය වපසරිය තුළ ඉටු කළ ඇතැම් කාර්යයන් මත බවයි.” යැයි ද සඳහන් වේ.

අදාළ ලිපියෙන් නීතිඥ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ බලධාරීන් විසින් නීත්‍යානුකූලව සිදු කරනු ලබන කිසිදු පරීක්ෂණයකට බාධා කිරීමට නීතිඥ සංගමයට කිසිදු අදහසක් නොමැති අතර, හිස්බුල්ලා මහතාගේ යහපැවැත්ම පිළිබඳව සංගමය සැලකිලිමත් වන” බවයි.

එබැවින් නීතිඥ හිජාස් හිස්බුල්ලාට හිමි වෘත්තීය අයිවාසිකම් සඳහා නිසි සැළකිල්ල දක්වන ලෙස හා අත්අඩංගුවට ගැනීමට මූලික වූ හේතුන් නීතිඥ සංගමය වෙත දැන්වීමට කටයුතු කරන ලෙස අදාළ විමර්ශන නිලධාරීන්ට මග පෙන්වන ලෙස නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඉල්ලා සිටී.

Rivira Ads
To Top