,
Covid-19

ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ දී රනිල්ගේ අදහසත් සළකා බලලා, දෛනික පරික්ෂාවන් 5000ක් දක්වා ඉහළ දැමීමටත් සූදානමක්

ඇඳිරි නීතිය ඉවත් කර ජන ජීවිතය යළි යථා තත්වයට පත් කිරීමට රජය ගත් තීරණයේ දී සෞඛ්‍ය අංශවල අදහස් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින් විසින්ද පළ කර ඇති අදහස් සැළකිල්ලට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු රිවිරට ප්‍රකාශ කළේ රට දිගටම වසා දමා ඇඳිරි නීතිය යටතේ පවත්වා ගැනීම තුළින් ජන ජීවිතය අඩාල වීම වළක්වා ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ ආණ්ඩුව අවධානය යොමු කළ බවයි.

එහිදී සෞඛ්‍ය අංශ, සෞඛ්‍ය විද්වතුන්, ආරක්ෂක අංශ මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද වරින් වර පළ කළ අදහස් සැළකිල්ලට ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනෙක ඉන්දීය මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් කියා සිටි ආකාරයට රට යම් යම් සීමාවන් යටතේ ඇඳිරි නීතිය ඉවත් කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතු බවට කළ ප්‍රකාශයට ආණ්ඩුවේ අවධානයට ලක්වූ බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටියා.

එමෙන්ම විපක්ෂයේ බොහෝ දෙනෙකු වරින් වර ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජීවිතය යථා තත්වයට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් හා ආණ්ඩුවෙන් කළ සියලු ඉල්ලීම් ද සළකා බැලීමට ලක්වූ බව එම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

මේ අතර සිදුකරනු ලබන පීසීආර් පරීක්ෂණ ගණන සිව් ගුණයකින් ඉහළ දැමීමට මේ වන විට කටයුතු කර ඇති බවද එම මන්ත්‍රීවරයා කියා සිටියා. දිනකට පරික්ෂාවන් 2000ක සීමාවකට මේ වන විට ළංව ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියා. එහෙත් ඒ මගින් හමුවන ආසාදිතයින් ප්‍රමාණය පරීක්ෂණ ප්‍රමාණයට සාපේක්ෂව ඉහළ ගොස් නැති බවද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම ඇඳිරි නීතිය ඉවත් කළ පසු දෛනික පරික්ෂාවන් 5000 දක්වා ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියා. ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල මෙරටදීම නිෂ්පාදනය කිරීමත් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් නිෂ්පාදනය කරන ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ අහඹු පරීක්ෂණ ප්‍රමාණයද ඉහළ නංවන බවත් බුද්ධි අංශ යොදවා ලබාගන්නා තොරතුරු මත හඳුනාගන්නා පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමත් දිගටම සිදුකරන බවයි. එමෙන්ම සුවය ලබා පිටවූවන් මෙන්ම පළමු දෙවන පරීක්ෂණවලදී ආසාදනය වී නැති බව තහවුරු වූ පිරිස් පවා නැවත නැවත පරීක්ෂාවට ලක් කිරීමට පියවරගෙන ඇති බවද හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

Rivira Ads
To Top