,
News

පාස්කු සිදුවීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රබල හෙළිදරව් රැසක්

2019 අප්‍රේල් 21 පාස්කු සිදුවීම සම්බන්ධයෙන් අතිශය ප්‍රබල හෙළිදරව් රැසක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදු කළා. ඒ අප්‍රේල් 19 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

පාස්කු සිදුවීමට අදාළව නීතිඥවරයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හා පැතිර යන මත කිහිපයක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ජාලිය සේනාරත්න අදහස් පළ කළා. ඔහු කියා සිටියේ අදාළ නීතිඥවරයා, නීතිඥවරයෙකු වශයෙන් සිය වෘත්තීය සීමාවන් යටතේ කළ කටයුතු සම්බන්ධයෙන් හා දුරකතන වාර්තා මත පමණක් අත්අඩංගුවට ගෙන ඇති බවට එල්ල වූ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය ඊට එහා ගිය පුළුල් විමර්ශන ගණනාවකින් පසු සිදුකළ අත්අඩංගුවට ගැනීමක් බවයි. ප්‍රමාණවත් කරුණු සහ ප්‍රමාණවත් සාක්ෂි සමග අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. එමෙන්ම අත්අඩංගුවට ගත් නීතිඥවරයා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ යම් සංවිධාන ගොඩනගාගෙන තරුණයින් අතර මුස්ලිම් අන්තවාදය පතුරුවීමට කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති බව ද හෙළි වී ඇති බවයි.

එමෙන්ම අත්අඩංගුවට ගත් තැනැත්තන් 197 දෙනා අතර පාස්කු සිදුවීම හා සම්බන්ධ යම් යම් සංවිධාන ගොඩනගමින් ඒවාට නායකත්වය දුන් පුද්ගලයින් හා ආධාර අනුබල හා මුදල් යෙදවූ පුද්ගලයින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළා.

එමෙන්ම මාධ්‍ය හමුවේදී සුවිශේෂී අනාවරණයක් ද සිදුකලේය. ඒ අනුව මුල් අවස්ථාවේදී වාර්තා වූ කරුනු අනුව සහරාන්ගේ සංවිධානය කොටසක් දෙකකට බෙදී ඇති බවත් ඉන් ප්‍රහාරයට සම්බන්ධ එක් කණ්ඩායමක් පමණක් බවට වූ තොරතුරු අසත්‍ය හා බුද්ධි අංශ නොමග යැවීම සඳහා ඉදිරිපත් කරන ලද තොරතුරක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එමෙන්ම පළමු ප්‍රහාරයෙන් යම් කාල සීමාවකට පසු දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමටද සූදානමින් සිට ඇති බවත් විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස එය ව්‍යර්ථ වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළිදරව් කර සිටියා.

එමෙන්ම කලාපීය රටක සිටින පිරිස් මෙරට ප්‍රහාරය සඳහා සහය දී ඇති බව අනාවරණය කරගෙන ඇති අතර වෙනත් රටක තවත් ප්‍රහාරයක් එල්ල කර එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් මෙරටට ගෙන්වාගෙන ඔවුන්ට ආරක්ෂාව හා රැකවරණය ලබා දීමට ද සූදානම් ව සිට ඇති බවද විමර්ශනවලදී හෙළිදරව් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එමෙන්ම හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මෙම සිදුවීමට සම්බන්ධයක් ඇත්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙතෙක් ඔහුව අත්අඩංගුවට ගෙන නැති බවයි.

Rivira Ads
To Top