,
Covid-19

නිරෝධායනයට යොමුකර සිටි 15ක් ආසාදිත බව හඳුනාගනී, පරීක්ෂණ ප්‍රමාණය තවත් වැඩි කෙරේ

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 19 ඉරිදා පස්වරු 06.00 වන විට 269 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 19 දිනය තුළ නව ආසාදිතයින් 15ක් තහවුරු කර ගැනීමත් සමගයි.

මෙම රෝගීන් 15 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ වසා දමා ඇති ප්‍රදේශයක ස්වයං නිරෝධායනයට ලක් කරමින් සිටි පිරිසක් බව වාර්තා වේ.

මේ වන විට රජය විසින් කොරෝනා පරීක්ෂණ ඉහළ දමමින් සැක සහිත සියලු දෙනාට අමතරව වසා දමා ඇති ප්‍රදේශවලද සිටින සියලු දෙනා පරික්ෂාවට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර පසුගිය දින කිහිපය පුරාම සොයාගත් රෝගීන් නිරෝධායනයට ලක් කර සිටි අය බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර සිටිනවා.

අප්‍රේල් 19 දිනය තුළ තවත් 5 දෙනෙකු සුවය ලබා ඇති අතර දැනට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 91ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ආසාදිතයින්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් සුවය ලබා තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 171ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 122ක් බවද සඳහන් වේ.

Rivira Ads
To Top