,
Covid-19

නව ආසාදිතයින් 24ක් හඳුනාගනී, සමස්ථ ආසාදිතයින් 295ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 20 සඳුදා පෙරවරු 9.30 වන විට 295 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 20 දිනය තුළ නව ආසාදිතයින් 24ක් තහවුරු කර ගැනීමත් සමගයි. මෙය ශ්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි.

මෙම රෝගීන් 24 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ 12 බණ්ඩාරනායකපුර වසා දමා ඇති ප්‍රදේශයක ස්වයං නිරෝධායනයට ලක් කරමින් සිටියදී හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.

මේ වන විට රජය විසින් කොරෝනා පරීක්ෂණ ඉහළ දමමින් සැක සහිත සියලු දෙනාට අමතරව වසා දමා ඇති ප්‍රදේශවලද සිටින සියලු දෙනා පරික්ෂාවට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර පසුගිය දින කිහිපය පුරාම සොයාගත් රෝගීන් නිරෝධායනයට ලක් කර සිටි අය බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර සිටිනවා.

අප්‍රේල් 20 දිනය වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 192ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 122ක් බවද සඳහන් වේ.

Rivira Ads
To Top