දේශීය පුවත්

මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 191ක් දක්වා වාර්තාගත ලෙස ඉහළට

අප්‍රේල් 20වන දා උදෑසන වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ඒ එක් දිනයකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් අප්‍රේල් 20 වනදා වාර්තා වීමත් සමඟය. ඒ අනුව, පළමු වරට මෙරට සක්‍රීය ආසාදිතයින් ගණන 191ක් දක්වා ඉහළ අගයක් වාර්තා වී ඇත.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ අප්‍රේල් 20 වැනිදා වාර්තා වූ රෝගීන් සියළුදෙනාම කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් බවයි. එම පිරිසත් සමඟ, ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 295 ක් වු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, අප්‍රේල් 20 වැනිදා වන විට තවත් රෝගියෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයාත් එකතුව රෝගීන් 97 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත. එමෙන්ම, දැනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක පිට පුද්ගලයන් 122 ක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

අප්‍රේල් 19 වැනිදා ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 17ක් වාර්තා වූ අතර ඔවුන් අතුරින් වැඩි දෙනෙකු කොටහේන ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිත කාන්තාව සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් බව යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. එසේ හඳුනාගත් රෝගීන් 17 දෙනා අතුරින් 10 දෙනෙකු ඇයගේ යාබද නිවසේ පදිංචිකරුවන් වන අතර අනෙක් 5 දෙනා ද අසල්වැසියන් වේ.

මෙම කාන්තාව ඉන්දියාවේ සිට පැමිණ ඇති අතර අප්‍රේල් 15 වන දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. අප්‍රේල් 17 වන දා උදෑසන වන විට ඇයගේ සැමියාට සහ පුතුන් දෙදෙනාටද වෛරසය වැළඳී ඇතැයි තහවුරු වි ඇති අතර මේ වන විට එම කාන්තාව ඇසුරු කළ තැනැත්තන්ගේ PCR පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවත් පැවසු යුද හමුදාපතිවරයා, තවත් පුද්ගලයෙක් මෙම කාන්තාවගේ ස්වාමියා ළඟින් ඇසුරු කළ අයෙක් බවත් පැවසීය. මෙම පුද්ගලයින් සැකය මත PCR පරීක්ෂණ සිදු කර සොයා ගත් අය බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top