ශ්‍රී ලංකාවේ පනවා ඇති ඇඳිරි නීතිය නීත්‍යානුකූල ඇඳිරි නීතිය පැනවීමක් නොවන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසනවා. එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිට ඇප ලබාගැනීමෙන් අනතුරුව අප්‍රේල් 20 දින ඔහු මේ බව පැවසීය.
“පොලිසිය පටන් ගත්තෙම එයාලා කරපු වැරදි වැඩේ එක්ක. වැරදි කරුණක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර පොලිසීය පැවසීමට උත්සාහ කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අත නීත්‍යානුකූල ඇඳිරි නීති බලපත්‍රයක් නොතිබූ බව. නමුත් රට තුළ නීත්‍යානුකූල ඇඳිරි නීතිය පැනවීමක් සිදුකරලා නෑ. නිවේදන මගින් පමණක් ඇඳිරි නීතිය පනවන්න බෑ. ඒ බව අපි අවධාරණය කළා. නමුත් ඒ කෑල්ල විතරක් ඔබ මාධ්‍ය තුළ පළ කරන්න එපා. අපි කියන්නෙ මේ රටේ ඇතිවෙලා තියෙන තත්වය නිසා සෑම කෙනෙකුම පනවලා තියෙන ඇඳිරි නීතිය අනුගමනය කළ යුතුයි. නමුත් එය නීත්‍යානුකූල ඇඳිරි නිතීය පැනවීමක් නොවේ. මහජන ආරක්ෂක පනත වැනි ප්‍රතිපාදන හරහා ඇඳිරි නීතිය පනවන්න හැකියාව තියෙද්දිත් එහෙම නොකර තිබීම ගැටළුවක්. නමුත් අපි නැවතත් කියන්නේ මේ තත්වය නිසා ජනතාව එය අනුගමනය කළ යුතුයි.” යැයි එම්.ඒ. සුමන්තිරන් වැඩිදුරටත් පැවසීය.
ඇප මත නිදහස් කළ රන්ජන් රාමනායක අධිකරණයෙන් පිටත්ව ගියේය.

