කොවිඩ්-19

රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය කොරෝනා පරීක්ෂණ මට්ටම ඊළඟ පියවරට ඔසවා තබයි, පරීක්ෂණ වැඩි කිරීමටත් ඉහළ දායකත්වයක්

ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයේ ජෛව වෛද්‍ය විද්‍යාගාරවල RT-PCR (Real Time Polymerase Chain Reaction) ක්‍රමවේදය භාවිතා කරමින් 2020 අප්‍රේල් 10 වන දින සිට COVID-19 සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වන පළමු සාම්පල විශ්ව විද්‍යාල රෝහලේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශ රෝහල් වලින් ලැබී තිබෙන බවද සඳහන්.

රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ප්‍රකාශ කළේ, “KDU ජෛව වෛද්‍ය විද්‍යාගාරවල පුහුණුව ලත් හා කැපවූ කාර්ය මණ්ඩලයක් සිටින අතර ඔවුන් මෙම පරීක්ෂණ සිදුකිරීමට සූදානම්ව සිටිනවා. අලුත් අවුරුදු කාලය තුළ පරීක්ෂණ වේගවත් කිරීමට අපි වැඩි දායකත්වයකින් කටයුතු කරමින් සිටී.” යනුවෙනි.

COVID-19 වෛරසය හඳුනාගැනීමට කළ හැකි පරීක්ෂණ ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා සති දෙකකින් පමණ තවත් RT-PCR යන්ත්‍රයක් ලැබීමට නියමිතව ඇතැයිද උපකුලපතිවරයා කියා සිටියා.

පරීක්ෂණ කට්ටල ලබාගත් විගසම පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වී ඇත්දැයි සොයා ගැනීමට උපකාරී වන ප්‍රතිදේහ සඳහා පරීක්ෂණ සිදු කිරීමට ද කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සූදානමින් සිටින බවද උපකුලපතිවරයා පෙන්වා දුන්නා. ප්‍රතිදේහ පරීක්ෂාව ශ්‍රී ලංකාවේ COVID-19 පරීක්ෂණ පියවර ඊළඟ මට්ටමට ගෙන යාමක් බවත් මීට පෙර ආසාදනය වී ඇත්තේ කවුරුන්ද යන්න තීරණය කර ගැනීමට මෙන්ම COVID-19 ඇඳිරි නීති තත්වයෙන් පිටවීමේ උපාය මාර්ගයට එය ඵලදායී ලෙස උපකාරී වන බවත් ඔහු පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ හැක්කේ ආසාදනය වී දින කිහිපයකට පසුව වන අතර ඇතැම් විට ප්‍රතිදේහ හඳුනා ගැනීම සඳහා පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය අනුව දින 10 ක් හෝ ඊට වැඩි කාලයක් ගතවන තුරු සිටිය යුතුය. ඊට හාත්පසින්ම වෙනස්ව, PCR පරීක්ෂණ මගින් රෝගියාගේ සාම්පලවල කොරෝනා වෛරසය පවතින බව අනාවරණය වන අතර එය රෝග විනිශ්චය සඳහා වන ගෝලීය රන් ප්‍රමිතිය ද වේ.

Rivira FB Group Rivira Youtube
To Top