උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හට හෘදයේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව බරපතල තත්ත්වයේ පසුවන බවට පළවන වාර්තා අසත්‍ය බව දකුණු කොරියාවේ බලධාරීන් ප්‍රකාශ කර සිටියි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට උතුරු කොරියානු නායක කිම් ජොන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට හෝ ඔහුගේ මොළයේ ක්‍රියාකාරීත්වය නතර වී ඇති බවට හෝ ඔහුට ශල්‍යකර්මයක් සිදු කර ඇති බවට හෝ පළවන වාර්තා තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත.
මෙවැනි වාර්තාවන් පළ වීමට මූලිකවම හේතුව වී ඇත්තේ කිම් ජොන් අන් ගේ සීයාගේ උපන්දිය සැමරුම් උළෙල මෙම මස 15 වැනිදා පැවැත්වූ අතර එයට ඔහු සහභාගී නොවීමයි. එය වසරේ පැවැත්වෙන ප්‍රධානතම සැමරුම් උළෙලක් වන අතර එයට උතුරු කොරියානු නායකයා සහභාගී නොවීම බොහෝ පිරිසකගේ සැකයට භාජනය වී තිබේ.
ඔහු අවසන් වරට රජයේ මාධ්‍ය ඔස්සේ පෙනී සිට තිබුනේ පසුගිය අප්‍රේල් මස 12 වැනිදා වන අතර එම ඡායාරූපයන් හිදී ඔහු ඉතාමත් සැහැල්ලු ආකාරයෙන් සිටින ආකාරයක් පළ වී තිබුනි. ඊට පෙර, එනම් අප්‍රේල් මස 10 වනදා ඔහු රජයේ රැස්වීමකට ද සහභාගී වී තිබුණු අතර ඉන්පසුව ඔහු පෙනී නොසිටි බව ද වාර්තා වේ.
මීට පෙර ද 2014 වසරේ සැප්තැම්බර් මුල සිට දින 40ක් පුරා උතුරු කොරියානු නායකයා අතුරුදහන්ව සිටි අතර පසුව ඔහු මාධ්‍ය වෙත පෙනී සිටින විට සැරයටියක් අත දරා සිටිනු දක්නට ලැබිණි. පසුව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර සිටියේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය හොඳ මට්ටමක නොපවතින බවයි. එසේ වුවත්, ඔහුට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳව කිසිදු තහවුරු කිරීමක් සිදු කර නොතිබිණි.
එමෙන්ම, දැනට පලවන වාර්තා හේතුවෙන් ඇමරිකානු බුද්ධි අංශ ද මේ පිළිබඳව අවධානය යොමු කර ඇතිවා සේම දකුණු කොරියාවද අවධානයෙන් පසුවන බව එරට රජය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, දැනට පවතින තත්ත්වය අනුව උතුරු කොරියානු නායකයා සම්බන්ධයෙන් පලවන පුවත් දකුණු කොරියානු රජය විසින් හා චීනයේ බුද්ධි අංශ විසින් ප්‍රතික්ෂේප කර ඇති බව රොයිටර් පුවත් සේවය ද වාර්තා කර සිටියි.

