,
Covid-19

විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම අදියර කිහිපයකින්, පළමු අදියර ලෙස 113ක් ලංකාවට

කොවිඩ්-19 වෛරසයේ පැතිරයාම හේතුවෙන් විදේශයන් හී සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට සඳහා රජයට විශාල ලෙස ඉල්ලීම් ලැබී තිබෙනවා. ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නිසිවැඩපිළිවෙලක් යටතේ අදියර කිහිපයකින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය කටයුතු ආරම්භ කර ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ මතුව ඇති තත්වය හේතුවෙන් තමන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස පාකිස්ථානය, බ්‍රිතාන්‍යය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින ආදි විදෙස් රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පළමු අදියර ලෙස අධ්‍යයන කටයුතු සහ පුහුණු සඳහා පාකිස්ථානයට වෙත ගොස් සිටි 113 දෙනෙකු අප්‍රේල් 21 දින මෙරටට ගෙන්වා ගනු ලැබුවා. ඒ ශ්‍රී ලංකන් ගුවන්සේවයේ විශේෂ යානකයකින්. එලෙස ගෙන්වාගත් පිරිස අතර අධ්‍යාපනය සඳහා පිටත්ව ගොස් සිටි ලාංකික සිසුන් හා පුහුණුව සඳහා පිටත්වගොස් පුහුණුව අවසන් කර ඇති යුධ ගුවන් නාවික හමුදා සාමාජිකයින් ඇතුළු පිරිසක් ඇතුළත් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

මේ අතර වැඩිපුරම ඉල්ලීම් ලැබෙන්නේ ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුවියන් පිරිසකගෙන් වන අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඔවුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බවද සඳහන්. අදාළ පිරිස ද හැකි ඉක්මණින් නැවත ගෙන්වා ගැනීමට නියමිතයි.

මෙලෙස ගෙන්වා ගැනීමට සහ නිරෝධායනය කිරීමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවේ හමුදාවන් විසින් කඩිනමින් සකස් කරමින් සිටින බව යුධ හමුදාපතිවරයා කියා සිටියා. නිරෝධායන මධ්‍යස්ථාන ගොඩ නැගීම ඊට අවශ්‍ය පහසුකම් ගොඩනැගීම මෙන්ම අදාළ පරික්ෂාවන් කිරීමට අවශ්‍ය සම්පත් ද සම්පාදනය කිරීමද සිදු කෙරෙමින් පවතින අතර සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අදියර කිහිපයක දී කණ්ඩායම් ලෙස ඔවුන්ව මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව ඔහු සදහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ඊට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමේ දී සෞඛ්‍ය වශයෙන් අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් ද සකස් කර ඇති අතර සෞඛ්‍ය අධීක්ෂණය හා අවශ්‍ය මැදිහත් වීම් සහිතව අදාළ කටයුතු සිදුකෙරන බවයි.

මීට අමතරව මැදපෙරදිග රටවල් 16 සේවයේ නියුතු ශ්‍රමිකයින් වෙත කඩිනම් සහන සැළසීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු ආරම්භ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ශ්‍රමිකයින්ගේ නෛතික ලියැවිලි හෝ තත්වයන් පරික්ෂාවකින් තොරව ඔවුන්ට සහන සැළසීමට පියවරගෙන ඇති බවයි.

ඒ අනුව අබු ඩාබි, සයිප්‍රස්, බහරෙන්, ඩුබායි, ජොර්දාන්, ඊශ්‍රායලය, කුවේට්, ලෙබනන් යන රටවල් සහ ඕමාන්, දකුණු කොරියා, මැලේසියාව, මාලදිවයින් හා සිංගප්පූරුවද එම රටවල් ඇතුළට අයත් බව ඔවුන් කියා සිටිනවා.

Rivira Ads
To Top