දේශීය පුවත්

හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ජාත්‍යන්තර නීතිවේදීන් මැදිහත් වෙයි

ශ්‍රී ලංකාවේ නීතීඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධව සිදුකෙරෙන විමර්ශන නිසි ක්‍රියාදාමයට අනුව හා සාධාරණව සිදු කෙරෙන බවට සහතික කිරීම ඇතුළුව 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ශනය සිදු කිරීමේදී මානව හිමිකම්වලට ගරු කරමින් ජාත්‍යන්තර නීතියට අනුකූලව සිදුකරන ලෙස ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම නම් සංවිධානය, ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

අප්‍රේල් 22 දින නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ නිශ්චිතවම, බලධාරීන් විසින් ඔහුට එරෙහිව ඇති චෝදනා ප්‍රකාශ කළ යුතු අතර, නීතිඥයෙකු ලබා ගැනීම සඳහා ඔහුට පූර්ණ හා ක්ෂණික ප්‍රවේශයක් ලබා දිය යුතු බවයි. එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව තිබීමට ඉඩ තිබීම සම්බන්ධයෙන් ද විමර්ශනයක් කළ යුතු බව එම සංවිධානය පවසනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (පීටීඒ) අනුව 2020 අපේ‍්‍රල් 14 වන දින නීතිඥ හිජාස් හිස්බුල්ලා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එතැන් සිට ඔහු රඳවා තබා ගෙන ඇති බව ඔවුන් කියා සිටී. එහෙත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කිසිදු හේතුවක් සපයා නැති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ “මාධ්‍ය හමුවකදී පොලිස් ප්‍රකාශක කියා සිටියේ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණ වලදී ඔහුට එරෙහිව හමු වූ සාක්ෂි හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 සහ 9 වගන්තිවලට අනුව පැය 72 ක් ගතවී ඇතත් ඔහු දිගටම රඳවා තබා ගැනීමට අවසර දෙන වලංගු රිමාන්ඩ් හෝ රැඳවුම් නියෝග ලබා දී නොමැති බව ICJ දනී. තවද, හිස්බුල්ලාට අප්‍රේල් 15 සහ 16 යන දිනවල නීතිඥයින් හමුවීම සඳහා සීමිත ප්‍රවේශයක් ලබා දී ඇත්තේ රහස් පොලිසියේ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේය. නමුත් නීතිඥ-සේවාදායක වරප්‍රසාදය උල්ලංඝනය කරමින් අදාළ නිලධාරියා බලකර ඇත්තේ සංවාදය සිංහලෙන් පැවැත්විය යුතු යැයි අවධාරනය කරමිනි. අවම වශයෙන් 2020 අප්‍රේල් 16 සිට නීතිමය ප්‍රවේශය ලබා දීමද ප්‍රතික්ෂේප කර ඇත.” යනුවෙනි.

එම සංවිධානයේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ෆ්‍රෙඩ්රික් රව්ස්කි එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා ඇත්තේ “බිහිසුණු පාස්කු ඉරිදා ප්‍රහාරයන් විමර්ශනය කිරීමට රජයේ අවශ්‍යතාවය හා බැඳීම කිසිවෙකු ප්‍රශ්න නොකරයි. නමුත් මෙම පරීක්ෂණ ජාත්‍යන්තර නීතියට හා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි පැවැත්විය යුතුය” යනුවෙනි. එසේම “නීතියෙන් නියම කර ඇති පරිදි හිස්බුල්ලාට රිමාන්ඩ් නියෝගයක් ලබා නොදීම සහ ඔහුට නීතිමය උපදෙස් සඳහා පූර්ණ සහ රහස්‍ය ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම පිළිගත නොහැකි අතර එය නිදහස සඳහා ඇති අයිතිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමකි.” යැයිද කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා ඇත්තේ රඳවා තබා ගැනීමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා හිස්බුල්ලාගේ පියා විසින් අපේ‍්‍රල් 17 වන දින හබයාස් කෝපස් පෙත්සමක් ගොනු කරන ලද අතර, එමගින් ඔහුගේ නීතිඥයින්ට ඔහුව හමුවීමට අවසර ලබා දෙන ලෙසද ඉල්ලා ඇති බවයි. එමෙන්ම එම සංවිධානය කියා සිටින්නේ “පෙත්සමට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටි පස් දෙනෙකු ඔහුගේ නිවසට ඇතුළු වී ඔහුට මාංචු දමා ප්‍රශ්න කර තිබෙන” බවයි. එමෙන්ම “ඔහුගේ නඩු ලිපිගොනු දෙකකට ප්‍රවේශය ඔවුන් ඉල්ලා සිට ඇති අතර, ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන තිබේ” යැයිද නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ඔවුන් කියා සිටින්නේ “වරෙන්තු රහිතව ඇතුළුවීම, පරිශ්‍රයන් සෝදිසි කිරීම සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම යන කරුනුවලට ඉඩ දීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ජාත්‍යන්තර නීතිය යටතේ මූලික හා නියමිත ක්‍රියාදාමය උල්ලංඝනය කරන“ බවද එම නිවේදනයෙන් එම සංවිධානයේ අධ්‍යක්ෂ රවුස්කි කියා සිටී. එමෙන්ම “මෙම නෛතික විධිවිධාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ගැටළු සහගත විධිවිධානවලින් එකකි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ඉල්ලා සිටින බවත්, ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන නීතියක් ආදේශ කළ යුතු බවත් ICJ නැවත අවධාරණය කරයි.” යැයිද කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ. “සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 9 වන වගන්තියට අනුව, අත්අඩංගුවට ගන්නා ඕනෑම අයෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු දැනගත යුතු අතර ඔහුට එරෙහි ඕනෑම චෝදනාවක් පිළිබඳව වහාම දැනුම් දිය යුතු බවයි. 14 වන වගන්තියට අනුව සාපරාධී වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඕනෑම කෙනෙකුට ඔහුගේ ආරක්ෂාව සැකසීමට ප්‍රමාණවත් කාලයක් හා පහසුකම් තිබීම සහ ඔහු කැමති පරිදි උපදෙස් ලබා ගැනීම සඳහා හිමිකම් ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය යටතේ ද ඒ හා සමාන සහතික ලබා දී ඇත” යනුවෙන්ද සඳහන් වේ..

ජාත්‍යන්තර නිතිවේදීන්ගේ කොමිසම නම් සංවිධානය මෙසේද කියා සිටී. “නීතිඥයින්ගේ කාර්යභාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්මයන් මෙසේ සපයයි, අපරාධ චෝදනාවක් සහිතව හෝ රහිතව අත්අඩංගුවට ගත් හෝ රඳවාගෙන සිටින සියලු පුද්ගලයින්ට නීතිඥයෙකුට ක්ෂණිකව ප්‍රවේශ විය හැකි බවට රජයන් තවදුරටත් සහතික විය යුතු අතර, අත්අඩංගුවට ගැනීමේ හෝ රඳවා තබා ගැනීමේ කාලය පැය හතළිස් අටක් ගතවීමට පෙර එම අවස්ථාව ලබා දීම සහතික කළ යුතුය” යනුවෙන් සඳහන් වන බව කියා සිටී.

අවසන් වශයෙන් ඔවුන් එම නිවේදනයෙන් කියා සිටින්නේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ICJ නිරන්තරයෙන් ඉල්ලා සිටින අතර, සැකකරුවන් මාස ගනනාවක් සහ බොහෝ විට වසර ගණනාවක් තිස්සේ කිසිදු චෝදනාවක් හෝ නඩු විභාගයක් නොමැතිව අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමෙන්, වධහිංසා පැමිණවීම සහ වෙනත් අපයෝජනයන් සඳහා ඉඩ සැලසීමක් සිදුවන බවයි. අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව මෙම නොපැහැදිලි සහ පුළුල් ත්‍රස්ත විරෝධී නීතිය අවලංගු කර වෙනස් සුදුසු නීතියක් ඒ සඳහා අදේශ කිරීම සඳහා වූ ඉල්ලීම ICJ නැවත අවධාරණය කරන” බවද කියා සිටී.

සටහන – ICJ යන කෙටි නාමයෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙනේ International Court of Justice හෙවත් ජාත්‍යන්තර අධිකරණයයි. එහෙත් මෙම ලිපියට අදාළව ICJ ලෙස හැඳින්වෙන්නේ International Commission of Jurists හෙවත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම නම් සංවිධානයයි. ඔවුන්ද ඔවුන්ව හඳුන්වා ගන්නා කෙටි නාමය වී ඇත්තේ ICJ යන්නයි.

Rivira FB Group Rivira Youtube
To Top