ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 22 බදාදා පස්වරු 3.00 වන විට 321 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 11 දෙනෙකු දිනය තුළ තහවුරු වීමත් සමගයි.
මෙම රෝගීන් 11 දෙනාම කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මීට පෙර හඳුනා ගත් ආසාදිතයෙකුගේ ඥාතීන් වූ බැවින් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිට තිබෙනවා. එහිදී සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී ඔවුන් ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා.
අප්‍රේල් 22 පස්වරු 3 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 104ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනය තුළ ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලැබීමත් සමගයි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 210ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 148ක් බවද සඳහන් වේ.
මේ අතර අප්‍රේල් 22 දින පෙරවරු 10.30 වන විට පෙර දිනට අදාළව කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 115කි. එය රටෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් (1/3) ඉක්මවූ ප්‍රමාණයකි. දෙවන වැඩිම ආසාදිතයින් ප්‍රමාණවත් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය පෙර දිනට අදාළ 45ක් වූ අතර අප්‍රේල් 22 දින හමුවූ ආසාදිතයින් 11 දෙනාත් සමග 56 දක්වා ඉහල ගොස් තිබෙනවා. මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 32ක්ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකුද මහනුවරින් 7ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5ක්ද ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතරට විදේශිකයින් 3 දෙනෙකු ඇතුළත් අතර ඉන් තිදෙනාම සුවය ලබා තිබෙනවා.

