Politics

ෆොන්සේකා එළියට, කැළණිය රුවන්ට

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ලෙස හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පත් කර තිබෙනවා. මෙම පත් කිරීම අප්‍රේල් 21 දින පක්ෂ නායක හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සිදු කර තිබෙනවා.

මහමැතිවරණයට තනිව තරඟ කර පරාජය වී සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පසුව එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමෙන් අනතුරුව කැලණිය ආසනයේ සංවිධායක ධුරය ද ඔහුට ලබා දී තිබුණි.

එහෙත් එක්සත් ජාතික පක්ෂය දෙකඩ කරමින් ජාතික සමගි බලවේගය නිර්මාණය වූ පසු ඔහු එම පක්ෂය සමග එක්ව මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබීම හේතුවෙන් ඔහුව ආසන සංවිධායකධූරයෙන් ඉවත් කර තිබෙනවා.

රුවන් විජේවර්ධන මීට පෙර බියගම ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටි අතර ඔහුගේ ඥාතීන් කිහිප දෙනෙකුම මීට පෙර කැළණිය ආසනය නියෝජනය කර තිබෙනවා. ඒ අතර හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සිටිනවා. ඒ අනුව ජයවර්ධන පවුලේ ඥාතියකු වසර ගණනාවකට පසු යළිත් කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයට පත්ව තිබීම ද විශේෂිත කරුණක් වේ.

මේ අතර එජාපය දෙකඩ කරමින් ගොඩනැගූ ජාතික සමගි ජනබලවේගය ඔස්සේ මහමැතිවරණයට ඉදිරිපත් වන බව තහවුරු කර ඇති තවත් සංවිධායකයින් ගණනාවකගේ තනතුරු අහෝසි කිරීමට නියමිත බවත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයින් පත් කිරීමට කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂය පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top