පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි යන්න තහවුරු කිරිම සඳහා අප්‍රේල් 22 වන දා පරීක්ෂණයක් සිදු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, ඔහු පසුගිය සතියේ පාකිස්ථානයේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මුණ ගැසීම හේතුවෙන් ය.
පසුගිය අප්‍රේල් මස 15 වන දා අගමැති ඉම්රාන් ඛාන් හා කොරෝනා වෛරසය ආසාදිත පකිස්ථාන ජාතික ව්‍යාපාරික ෆයිසාල් එඩි මුණ ගැසී ඇති අතර ඒ වන විට එම ව්‍යාපාරිකයා හට වෛරසය ආසාදිත බවට තහවුරු වි නොතිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්ථාන අගමැතිවරයාගේ පුද්ගලික වෛද්‍යවරයා මෙන්ම කොරෝනා වෛරසය සම්බන්ධ උපදේශකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ෆයිසාල් සුල්තාන් සඳහන් කර තිබෙන්නේ අගමැතිවරයාව පරීක්ෂණයට ලක් කොට ඉන් ලැබෙන ප්‍රථිපල අනුව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. එමෙන්ම, වගකීම් සහගත අගමැතිවරයෙකු මෙන්ම පුරවැසියෙකු ලෙස තමන්ගේ උපදෙස් පිළිගෙන අගමැතිවරයා විසින් පරීක්ෂණය සඳහා එකඟ වීම පිළිබඳව තමන් සතුටු වන බවත් වෛද්‍ය ෆයිසාල් සුල්තාන් වැඩිදුරටත් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
මීට අමතරව, අගමැතිවරයාගේ පවුලේ අයට කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදු කර ඇති බවත් ඔවුනට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවත් අගමැතිවරයාගේ තොරතුරු පිලිබඳ උපදේශකවරයා වන ෆර්ඩුවොස් ආශික් අවාන් එරට මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

