කොවිඩ්-19

කොවිඩ්-19 ප්‍රභේද 4ක් ලංකාවේ, ජපුර සරසවිය පර්යේෂකයින් සොයාගනී

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකදී විශේෂ තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

අප්‍රේල් 23 දින මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයින් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ එම වෛරසයේ ප්‍රභේද හතරක් සංසරණය වෙමින් පවතින බවයි. ඔවුන් විසින් සිදුකළ කොවිඩ්-19 වෛරසයේ සම්පූර්ණ ජානමය අනුක්‍රමණය කිරීමකදී මේ බව අනාවරණය කර ගෙන තිබෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකාවෙන් හමුවූ ආසාධිතයින්ගෙන් ලබා ගත් සාම්පල් මෙම පර්යේෂණ සඳහා යොදා ගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ විසින් මෙම පර්යේෂක කණ්ඩායම මෙහෙයවා ඇති අතර එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට අනුයුක්ත වෛද්‍ය චන්දිමා ජීවන්දර හා අනෙකුත් පර්යේෂණ විද්‍යාඥයින් ඒ සඳහා සහය වී තිබෙනවා.

ඕනෑම වෛරසයකට අදාළව එම වෛරසයක සම්පූර්ණ ජානමය අනුක්‍රමණය ශ්‍රී ලංකාවේ දී සිදු කළ පළමු අවස්ථාව මෙය බවයි ඔවුන් සඳහන් කළේ. මීට පෙර එවැනි අවශ්‍යතාවයක් ඇති වූ විට සිදු කර ඇත්තේ අදාළ සාම්පල විදේශ රටවලට යවා අදාළ වාර්තා ලබා ගැනීමයි.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ සමස්ත ජානමය අනුක්‍රමණයන් පරික්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. එම පර්යේෂණයේ නියුතු විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට කොරෝනා වෛරසයේ ප්‍රභේද කිහිපයක් ලොවපුරා සංසරණය වන අතර ශ්‍රී ලංකාව තුළ එම වෛරසයේ ප්‍රභේද හතරක් සංසරණය වෙමින් පවතින බව මෙතෙක් සොයා ගැනීමට හැකිවූ බවයි.

Rivira FB Group Rivira Youtube
To Top