ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා පස්වරු 9.30 වන විට 368 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 23 දිනය තුළ පමණක් නව ආසාදිතයින් 38 දෙනෙකු තහවුරු වීමත් සමගයි. එය ශ්‍රී ලංකාවේ දිනකදී හමුවූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි.
අප්‍රේල් 22 වන දා පොළොන්නරුවෙන් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සෙබළා සේවයේ නියුතු වැලිසර නාවික කඳවුරේ සේවය කරන තවත් නාවික හමුදා සෙබලෙකු ආසාදිත බව අප්‍රේල් 23 දහවල් අනාවරණය වූ අතර එහිදී ඇති වූ සැකය මත වැලිසර නාවික කඳවුරේ විශාල පිරිසක් පීසීආර් පරීක්ෂණයකට ලක් කර තිබුණා. ඒ අනුව දිනය තුළ සෙබළුන් 29 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව, දැනට වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් 30 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වි ඇති අතර කඳවුර සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමටත් නිවෙස් බලා ගොස් සිටින සියළුම සෙබළුන් නැවත කඳවුර වෙත කැඳවීමටත් ඔවුන් සියළුදෙනාම කඳවුර තුළම නිරෝධායනයට ලක් කිරිමටත් මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
එසේම, පළමුව පොළොන්නරුවෙන් වාර්තා වූ නාවික හමුදා සෙබළාට වෛරසය වැළඳී ඇත්තේ පසුගිය දා ජාඇල ප්‍රදේශයෙන් වාර්තා වූ වෛරසය ආසාදිත පුද්ගලයින් සමඟ සම්බන්ධකම් පැවැත් වූ පුද්ගලයින් සොයා සිදු කළ මෙහෙයුමකට සම්බන්ධ වූ තවත් නාවික හමුදා සෙබළෙකුගෙන් බවට සැක කෙරෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව කඳවුරේ සෙබලුන් ආසාදිත වීමට හේතුව ජාඇල සුදුවැල්ල ආශ්‍රිතව කළ මෙහෙයුම් බවට සැක කෙරේ.

