ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 24 සිකුරාදා පෙරවරු 9 වන විට 368ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 23 දිනයේ දී ශ්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙස 38 දෙනෙකු වාර්තා වීමත් සමගයි. සමස්ථ ආසාදිතයින් අතුරින් 107 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 17 දින සිට 23 දිනයෙන් අවසන් වන සතියක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් නව ආසාදිතයින් 130 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අප්‍රේල් 17 දින 6ක්ද, අප්‍රේල් 18 දින 10ක්ද, අප්‍රේල් 19 දින17ක්ද, අප්‍රේල් 20 දින 33ක්ද අප්‍රේල් 21 දින 6ක්ද අප්‍රේල් 22 දින 20ක්ද හා අප්‍රේල් 23 දින 38ක් ද ලෙස අදාළ ආසාදිතයින් 130 දෙනා වාර්තා වී තිබෙනවා. මෙය සතියක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම ප්‍රමාණයක් ලෙසද හැඳින්විය හැක. නමුත් මෙම ආසාදිතයින්ගෙන් බොහෝ දෙනෙකු නිශ්චිත ප්‍රදේශයක් තුළින් හමුවීම හරහා එම ප්‍රදේශ හුදෙකලා කිරීමට පියවර ගැනීම හේතුවෙන් මෙතෙක් ඒ ආසන්න වෙනත් ප්‍රදේශවලට වෛරසය පැතිර යාමක් සිදුව නැති බව දැනට ඇති තොරතුරු අනුව හෙළි වී තිබෙනවා.
මෙලෙස හමුවූ ආසාදිතයින් 130 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ බණ්ඩාරනායක මාවතේ පිහිටි වතු කිහිපයකින් වන අතර බේරුවල ප්‍රදේශයෙන් හා ජාඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් ඉතිරි ආසාදිතයින්නගෙන් වැඩි දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම ප්‍රදේශවලට පිටින් හමුවූ ආසාදිතයින් ඇත්තේ කිහිප දෙනෙකු වන අතර අප්‍රේල් 23 දින වැලිසර නාවික හමුදා කඳවුරෙන් එකවර ආසාදිතයින් 30 දෙනෙකු හමුවීමත් සමග වැලිසර නාවික හමුදා කඳවුර ද හුදෙකලා කිරීමට පියවර ගෙන තිබුණා. ඔවුන් ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ආසාදිතයින් සොයා කළ මෙහෙයුම්වලදී වෛරසය වැළඳී ඇතැයි සැක කෙරේ.
අප්‍රේල් 17ත් අප්‍රේල් 23ත් ඇතුළත්ව ඒ සතිය තුළ ආසාදිතයින් 39 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්වගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ වෛරසය හේතුවෙන් අවසන් වරට මරණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් 8 වන දිනයේ දීයි.


