,
Covid-19

“සහන සැළසීම නවතින්නෙ නෑ” – පාලිත තෙවරප්පෙරුම සමග කළ විශේෂ සාකච්ඡාව

කොරෝනා වෛරසය රටට බලපෑම් කිරීමත් සමග එය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස රජය ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා. ඒත් එක්කම එදිනෙදා රැකියා කළ ජනතාවට මෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව දැඩි අසීරූවකට පත්වුනේ ආහාරපාල ලබා ගැනීම පවා ගැටළුවක් බවට පත් කරමින්. මේ වගේ අවස්ථාවල කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට මතක් වෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ ඕනෑම පීඩාකාරී අවස්ථාවක ජනතාව වෙනුවෙන් පෙරට එන පුද්ගලයෙක්. ඔහුට එම ගැටළුවේ ස්වාභාවය එතරම් වැදගත් නෑ. ඔහු වැදගත් වෙන්නේ ඕනෑම ගැටළුවකට තමන්ට හැකි අයුරින් විසඳුමක් හෝ සහනයක් ලබා දෙන්නෙ කොහොමද කියන එක විතරයි. ඒ අන් කිසිවෙක් නොව එක්සත් ජතිත පක්ෂ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පරුමයි. ඔහු කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වූ තත්වයත් සමග පීඩාවට පත් වී සිටින ජනතාවට සහන සැළසීමේ විශාල ක්‍රියාවලියක නිරතව ඉන්නවා. මේ සාකච්ඡාව ඔහු සමගයි.

මන්ත්‍රීතුමා, ඔබ ඇයි මෙහෙම වැඩ පිලිවෙළක් ක්‍රියාත්මක කරන්න හිතුවේ?

පාලිත තෙවරප්පෙරුම කියන්නේ දෝලාවෙන් මෙතැනට ආපු කෙනෙක් නෙමෙයි. පරම්පරාවෙන්වත් පිය උරුමෙන්වත් දේශපාලනේට ආපු කෙනෙක් නෙමෙයි. පාලිත තෙවරප්පෙරුමව අද ඉන්න තැනට ගෙනාවේ මිනිස්සු. මම වගකියන්න ඕනේ ඒ අය වෙනුවෙන්. ඒ මිනිස්සු අසරණ උන වෙලාවක, පිහිටක් නැතුව ඉන්න වෙලාවක ඒ මිනිස්සුන්ව අමතක කරලා ගෙදරට වෙලා මගේ වැඩක් කරන් පාඩුවේ ඉන්න මට බෑ.

ඔබතුමා පහුගිය දවස්වල ඇතැම් පිරිසකට චෝදනා කළා. ඔබව අත්අඩංගුවට ගැනීමට පවා සූදානමක් ඇති බව කිව්වා?

මම මගේ ජනතාව බදාගෙන ඔවුන් වෙනුවෙන් සේවය කරනකොට මේ පොලිස් දෙපාර්තමේන්තුවේ එක පිරිසක්, පාපකාරී පිරිසක්, පොලිස් කොමිසමට පිටින් ආපු OIC ලා කීප දෙනෙක් මට සෑහෙන්න හිරිහැර කරනවා. බාධා කරනවා. හැබැයි ඒ දේවල්වලින් පීඩාවට පත්වෙන්නේ අහිංසක ජනතාව මිසක් මම නෙමෙයි.

එක සැරයක් මම පාන් ගෙඩි 5000ක් අරගෙන මිනිස්සුන්ගේ කෑම වේලක් අරන් යද්දී ඒක නැවැත්තුවා. ගමක් වහලා මිනිස්සුන්ට උදව් ඕනේ කියලා මට තොරතුරු ලැබුනම මම අටලුගම ගිහින් උදව් කරන්න ගියා, ඒකත් නැවැත්තුවා.

ඒ වගේම තවත් දවසක් කෑම දහදාහක් අරන් ගියා. ඒ අරන් ගියේ හොරණ පැත්තෙ දෙමළ ජනතාවට කන්න දෙන්න. ඒක රෑ දෙක වෙනකම් පරක්කු කරවලා මට කියලා බෙදෙව්වා.

මෙහෙම ඇඳිරි නීතියක් පනවලා තියෙද්දි ඔබතුමා ඒ රෙගුලාසිවලට ගරු කරාද? බලපත්‍ර ලබාගත්තද?

අනිවාර්යෙන්ම. ඒකටත් හතරවටේ ඇවිලා සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල විදියට ඇඳිරි නීති බලපත්‍රයක් අරගත්තා. ඒකටත් මට සෑහෙන්න බාධා ආවා. මම මුලින්ම ගියා අපේ ප්‍රාද්ශීය ලේකම්තුමිය ළඟට. එතුමිය කිව්වා එතුමියගේ ප්‍රදේශයේ නෙවෙයි නිසා එතුමියට දෙන්න බෑ කියලා. ඊට පස්සේ මම ගියා හොරණ ඒක අදාළ එක්කෙනා ගාවට. එතැනින් මම ආයිත් අපේ ප්‍රාද්ශීය ලේකම්තුමිය ළඟට ආවා. එතැනින් මම ආයෙත් ගියා පොලිසියට. ඔහොම වටේටම ගිහින් කෑම බෙදන වාහන ඔක්කොටම එතැනින් බලපත්‍ර දාලා දුන්නා.

මම ඔබට පෙන්වන්නම්. මේ තියෙන්නේ මතුගම ප්‍රාද්ශීය ලේකම් කාර්යාලයෙන් දීපු එක. ඒකෙ මෙයා දාලා තියෙනවා පොලිස් ස්ථානය මතුගම, පීඩාවට පත් වූ ජනතාවට සහන ලබා දීම සඳහා තාවකාලික අවසර පත්‍රයක් ලබා දීම කියලා. මේක අනුමත කරලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් මතුගම විසින්. මෙයා මාව දවස් දෙකක් තුනක් රස්තියාදු කරලා තමයි මේකත් දුන්නේ. ඊට පස්සේ පොලිසිය මාව රස්තියාදු කළා.

ඉවසලා ඉවසලා බැරිම තැන මම ඇහුවා ඒගොල්ලන්ට මේක නොදෙන්න හේතුව මම මේ එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලයිස්තුවේ ඉන්න එක නේද කියලා. චූන් පාන්කාරයාට යන්න පුළුවන් නම්, එළවළුකාරයාට යන්න පුළුවන් නම්, මාළුකාරයාට යන්න පුළුවන් නම් තෙවරප්පෙරුමට විතරක් යන්න බැරි ඒ නිසා නේද කියාල මං එයාලාට කිව්වා.

නාමයෝජනා දීලා ඉන්න තවත් දේශපාලනඳයෝ ඔය විදිහටම ආධාර බෙදද්දි ඇයි ඔබට විතරක් මේ තරම් ප්‍රශ්න? ඔබ අපේක්ෂකත්වයෙන් ඉවත් වෙනවා කියලා ප්‍රකාශයක් කරලා තිබුණා. මොකද්ද ඒ ප්‍රකාශයට පසුබිම? ඔබ කලකිරීමෙන්ද?

කලකිරීමක් නෑ කියන්න බෑ. මේ අහිංසක මිනිස්සුන්ට සහනයක් දෙන්නයි මම හැමදේම කරන්නෙ. මේකට බාධා කරපු අවස්ථාවක මම පොලිසිට ගිහිල්ලා කිව්වා. ඔබතුමාලාට තියෙන ප්‍රශ්නේ මම දෙන ඒවා අරං මට ඡන්දෙ දෙයි කියන එක නේ. ඒ නිසා මගේ බඩු බෙදන්න දෙන්න බෑ කියන එකනේ. ඉතින් මට කරන්න තියෙන්නෙ දෙකයි. එක්කෝ මම ජනාධිපතිගේ ඔඩොක්කුවට යන්න ඕනෙ මේ වැඩේ ඉවර වෙනකං. ඒ ගිහිල්ලා මේ ටික අර අහිංසක මිනිස්සුන්ට බෙදන්න ඕනේ. එහෙම අනිවාර්යයෙන්ම මම මගේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙනවා. ඔය දෙකෙන් එකක් මම අනිවාර්යෙන්ම කරනවා.

ඔබ හදන්නෙ ඉල්ලා අස්වෙන්නද පක්ෂෙ මාරු කරන්නද?

මට වෙලා තියෙන්නේ ඕක හිතන්නවත් වෙලාවක් නෑ. එක වේලක් දුන්නම මගේ ඔළුවෙ කැරකෙන්නේ මම ඊ ළඟ වේලට ඒ මිනිස්සුන්ට කන්න දෙන එක. ඒත් මම මැතිවරණ කොමිසමට ලියුමක් දෙන්න හිතුවා. මම කියනවා මාව අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරන්න කියලා. මගේ ප්‍රශ්නය සහන සළසන එක මිසක් අපේක්ෂකත්වය නෙවෙයි. ඒ වෙනුවෙන් මම මගේ ගෙයක් වාහනයක් උනත් විකුනනවා. දැනටත් වාහන ගෙවල් උගස් කරලා සල්ලි අරන් තියෙනවා. මේ අපේක්ෂක ප්‍රශ්නෙ ඉවර කරගන්න ඕන. ඊට පස්සේ මට චූන් පාන්කරයෙක් වගේ, එළවළුකාරයෙක් වගේ, මාළුකාරයෙක් වගේ හරි යන්න අවසර බලපත්‍ර ලැබෙයි වගේම බාධක නැති වෙයි.

ඒ කියන්නේ ඔබතුමා අපේක්ෂකත්වයෙන් ඉවත් වෙනවද? මැතිවරණයට තරඟ කරන්නෙ නැද්ද?

ඒක තමයි මම පැහැදිලිව කිව්වේ. අපේක්ෂකත්වය බාධාවක් නම් මම මගේ ඉල්ලා අස්වීම බාර දෙනවා. ඔයාම හිතන්න මේ තරම් කෑම තොගයක් කී දෙනෙක්ගේ වේලක්ද මේ? මේක අත ඇරලා ඔයා කියන්නෙ මට ඡන්දෙ ඉල්ලන්න කියලද? ඔයාම හිතලා බලන්න ඡන්දයක්ද, මේ කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සුන්ගේ පීඩාව නැති කරන එක ලොකු කියලා. මට අතඅරින්න බැරි දෙයක් තියෙනවා නම් ඒ මේ මිනිස්සුන්ට සහන සළසන එක විතරයි. ඒක නතර කරන්නෙ නෑ.

ඔබ මෙතරම් විශාල ලෙස සහන සළසන්න අවශ්‍ය බඩු ලබාගන්නෙ කොහොමද? ඔබ වරක් චෝදනා කළා ඔබට සතොස බඩු ලබා දුන්නෙ නෑ කියලා?

ඒක හරිම ප්‍රශ්නයක්. මට බඩු දෙන්නෙ නෑ. මට නෙමෙයි ඕවා මිනිස්සුන්ට ගන්නත් බෑ. සතොස බඩු ටික යන්නේ කළු කඩකාරයා ගාවට. අන්තිමට මට බඩු ගන්න උනේ කළු කඩකාරයාගෙන්. ඔයා විශ්වාස කරන්න රු.65 පරිප්පු කිලෝ එක මම එකසිය හැට පහට ගන්නෙ.

ඔබට මෙතරම් බඩු ගන්න වගේම අඛණ්ඩව මේ වැඩපිළිවෙළ පවත්වාගෙන යන්න සල්ලි කොහෙන්ද? විශේෂයෙන්ම වැඩි මිලට ගන්න වෙද්දිත්?

ඕක මගෙන් හැම මාධ්‍යයක්ම අහනවා. මම ඔයාට පොඩි කතාවක් කියන්නම්. ඔයාට උත්තරේ ඒකෙන් ලැබෙයි. ඔයා අනුරාධපුරේ රුවන්වැලිසෑය ළඟට යන්න. එතැන තියෙනවා රුවන්වැලිසෑය හදන්න ගහපු කුලුනු 5ක් 6ක්. දුටුගැමුණු රජතුමාට මේ රුවැන්වැලිසෑය හදන්න ආසාවක් ඇවිල්ලා එයා කල්පනා කරා ජනතාවට බදු පටවන්නේ නැතුව මම කොහොමද මේක කරන්නේ කියලා. දුටුගැමුණු රජතුමාගේ ඒ යහපත් චේතනාව ශක්‍ර දෙවියන්ට දැනිලා ශක්‍ර දෙයියො මොකද කළේ එක තැනක රන් මැව්වා, තව තැනක රිදී මැව්වා, තව තැනක තඹ මැව්වා, තව තැනක අවශ්‍ය කරන ගඩොල් බදාම මැව්වා. ඒකට අවශ්‍ය ශ්‍රමය දීපු වඩුවන්ට, නිමැවුම්කරුවන් දේවතාවුන් වැහුනා. දැන් ඔයා ගල් වඩුවෙක් නම් ඔයා නෙවෙයි මේ වෙනුවෙන් වැඩ කරන්නේ. වැඩ කරන්නේ ඒ දේවතාව. හයිය හත්තිය අවශ්‍ය මිනිස්සුන්ට බලගතු යක්කු වැස්සුවා (ආරූඩ වෙනවා යන අර්ථය). එහෙම තමයි රුවන්වැලිසෑය ගොඩනැගුනේ.

ඉතින් ඒ වගේ තමයි මේකත්. මමත් කල්පනා කළා මේ වෙලාවේ කාටවත් අත පාන්නේ නැතුව මේක කරන විදිය. මට තිබුණෙ ජීජ් එක. ඒක ලක්ෂ 30ක් 40ක් විතර වටිනවා. මම ඒක පොලීකාරයෙක් ගාව උගස් කරලා ලක්ෂ 5ක් ගත්තා. ලක්ෂ පහ අරන් කෙලින්ම ගියේ කොළඹ මැනිං මාකර්ට් එකට එළවළු ගන්න. අර රුවන්වැලිසෑය හදද්දි දුටු ගැමුණු රජ්ජුරුවන්ට වගේ, එතන හිටපු වෙළෙන්දෙක් බතල කිලෝ 1000ක් විතර නිකන් දුන්නා. තවත් වෙළෙන්දෝ කීප දෙනෙක් එළවළු ටික නිකං දුන්නා. ඒ ටික අරන් ඇවිත් පළවෙනි වටේ මිනිස්සුන්ට කන්න ටික දුන්නා.

ආයෙත් මම බඩු ගේන්න තුන්වැනි දවසේ යනකොට ඒ වෙළෙන්දෝ මාව වට කරගත්තා. ලොරි තුනක එළවළු නිකන් දුන්නා.

ඒ වගේම සද්කාර්ය දැක්ක රටවිරුවෝත් මට උදව් කරනවා. උන් ඉතාලියේ මරු කටේ හිටියත් කවුද තමන් ගැන අමතක කරලා මේ රටේ මිනිස්සු ගැන හිතලා මේ වැඩේ හරියට කරන්නෙ කවුද කියලා බලලා මට සල්ලි එවනවා. ඉතින් පනස් දාහක් එව්වාම මම ඒකෙන් ලක්ෂ එක හමාරක විතර වැඩ කරනවා. මොකද ඒ සල්ලි ඒ මිනිස්සු දුක් විඳලා උපයන සල්ලි.

මගේ එක පුතෙක් ඉන්නවා එයා වරායේ කම්කරු රස්සාවක් කරනවා. මම එයාට දෙන්න තිබ්බ ඉඩමත් උකස් කරලා සල්ලි ගත්තා මේ වැඩ ටික කරගෙන යන්න. ඒ නිසා දැන් ඒ පුතයි, මගේ බිරිඳයි දෙන්නම මාත් එක්ක තරහා වෙලා. මම දැන් ගෙදරිනුත් එළියට බැහැලා මගේ කාර්යාලේ ළඟ ටෙන්ට් එකක් ගහගෙන උයන කියන දේවල් කරගෙන මේ මිනිස්සුන්ට උදව් කරනවා. මට මේ රටේ ලෝකේ මිනිස්සු ආශිර්වාද කරනවා. මිනිස්සු මට කියනවා ඔවුන් දැක්ක ජීවමාන දෙයියෝ මම කියලා. මිනිස්සු මට ගොඩක් ආදරය කරනවා.

ඔබ දවසක් කෝල් එකක් ගන්නවා. පුතෙක්ට. පුතේ කියලා කතා කරලා මොනවද කරගත්තේ? කවුද ඒ පුතා? ඒ වගේම ඔබ සමහර වෙලාවට ඔබේ පක්ෂයේම පිරිස් විවේචනය කරන ගමන් විරුද්ධ පක්ෂයේ අයව වර්ණනා කරනවා?

මම අවුරුදු 61ක මිනිහෙක්. ඔය කියන දවසෙ මම ගියා මිනිස්සුන්ට සහන අරන්. ඒ යද්දි එතනින් පොලිසියෙන් නැවැත්තුවා. ගන්න ඕනෙ කීප දෙනෙක්ට ගත්තා. අපේ කිසි එකෙක් ෆෝන් එකක් උස්සන්නේ නැති පාර, මට කතා කරන්න එකෙක් නැති වෙච්ච තැන මම මේ මනුස්සයාට ගත්තා. මම පුතා කිව්වාට නාමල් රාජපක්ෂ මට අයියේ කියලා කතා කරන්නේ. නාමල්ට කතා කළාට පස්සෙත් එතන විනාඩි 45ක් විතර බලාගෙන හිටියා. පස්සේ දිස්ත්‍රික් ලේකම්තුමා කතා කරලා පැය භාගෙකට විතර පස්සේ එතැනට එව්වා ප්‍රාදේශීය ලේකම් එකේ නිලධාරින් දෙන්නෙක්. වැඩේ කියන්නේ ඒ වෙනකම් එතන හිටපු හමුදා නිලධාරීන් දෙන්නා මගේ පපුවට තුවක්කු දෙක තියාගෙන හිටියා. ඒකත් හිටියේ බණ්ඩාරගම ඕඅයිසීගේ ඕඩරේට. පස්සේ අර නිලධාරීන් ඇවිත් ප්‍රාදේශීය ලේකම්තුමාගේ ලියුම දුන්නට පස්සේ තුවක්කු දෙක අයින් කරලා මට යන්න කිව්වා. එතකොට මම ඇහවා, මල්ලි මේකද කොරෝනාවලට තියෙන විශබීජනාශකය? මේක දුන්නාට පස්සේ කොරෝනා හැදෙන්නේ නැද්ද, කියලා. නාමල් ගැන මතක් කරපු නිසා මට දෙයක් මතක් උනා. එක පාරක් මම හම්බන්තොට අලි ප්‍රශ්නයක් බලන්න මාසයක් විතර නැවතිලා හිටියා. ඒකට විසඳුම් හොයලා එන අතරමගදි නාමල් කට්ටියක් එක්ක පාරේ ඉඳලා එහා පැත්තෙ හිටපු කෙනාට කියනවා, මචං අපිව නෙමෙයි දැන් මිනිස්සු අහන්නේ මෙන්න මෙයාව කියලා. මෙයා හම්බන්තොටින් ඡන්දේ ඉල්ලුවොත් අපිත් ඉවරයි කිව්වා. එතකොට එතන හිටපු අපේ පක්ෂෙ දිලිප් වෙදආරච්චි කියනවා මේ මක්කැයි මෙන්න මෙයැයි හම්බන්තොටින් ඡන්දේ ඉල්ලනවැයි. අර එතකොට අපි මක්ක කරන්නැයි. අන්න එහෙමයි වැඩේ.

හැබැයි මෙහෙමයි, නාමල්ට මම ඊට පස්සෙත් කතා කළා සතොසින් මට බඩු නොදී හිටපු වෙලාවක. පස්සෙ නාමල් සතොසට කිව්වා තෙවරප්පෙරුම ඇමැතිතුමා ආවොත් තප්පරයක්වත් පරක්කු නොකර ඉල්ලන තරමක් බඩු දෙන්න කියලා. එදා ඉල්ලපු බඩු සේරම දුන්නා. ඒත් ඊට පස්සේ සතොස මැනේජර්ට මගේ පුතා කතා කරලා මහත්තයා මේ තෙවරප්පෙරුම කියනකොටම මේ මනුස්සයා ෆෝන් එක කට් කළා. ඊට පස්සේ බලද්දි ෆෝන් එක ඕෆ් කරලා දැම්මා. ඔය තරම් මොකද්ද මේ කරන බාධා කිරිල්ල. මේ අහිංසක මිනිස්සුන්ට දෙන කන්න වේල.

මේ තරම් කැපවෙලා ඔබ බලාපොරොත්තු වෙන්න මොනවද? මේ වෙලාවේ දිග උත්තරයක් දෙන්න වෙලාවක් නැති උනත්, ඔබ මේ දක්වා ආපු ගමන ගැන මොකද හිතෙන්නෙ?

මම කැපවෙන්නෙ ඇයි කියන එකට මම කලිනුත් උත්තරයක් දුන්නා. මම බදාගත්ත මිනිස්සු ටිකක් ඉන්නවා. මම ඒ මිනිස්සු වෙනුවෙන් වග කියන්න ඕනේ. අද මම ඉන්න තැනට මාව ඒ මිනිස්සු අරන් ආවා නම් ඒ මිනිස්සු ගැන බලාගන්න එක මගේ වගකීම. 2002 අවුරුද්දෙදි මේ මිනිස්සු මාව ප්‍රාදේශීය සභාවේ සභාපති කළා. ඒ කරලා 2005 දී පළාත් සභාවට යැව්වා. ආයිත් 2006 ඉදන් මාව කළුතර දිස්ත්‍රික්කයේ අංක 1ට ගෙනාවා. ඇත්තටම දිස්ත්‍රික්කෙ පළවෙනියා ආවේ මම. ඇත්ත කියන්න එපැයි. දැන් මට ඒක ගැන ඇත්ත කියන්න වෙනවා. රාජිතලයි පක්ෂ නායකයෝයි එදා එකතුවෙලා හෙන වංචාවක් කරලා තමයි ඒගොල්ලෝ ඒ තැන්වලට ආවේ.

අපේ පැත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම ජාති ආගම් බේදයක් නැති ඡන්දේ දුන්නේ තෙවරප්පෙරුමට. ඒත් දිස්ත්‍රික් නායකකමවත් මට ලැබුණේ නෑ. ඒත් මම අතඇරියේ නෑ. තනතුරු හම්බුනේ නෑ කියලා කවදාවත් පක්ෂ නායකත්වයට බැන්නේ නෑ. දොස් කිව්වේ නෑ. නමුත් රාජිතලා හම්බ කළා සල්ලි. අද රාජිතලා සල්ලි ටික බදාගෙන ඉන්නවා. තව අර අජිත් පෙරේරලා දේශපාලනේට ආවා. බොරු කියලා උගත්කම කියලා හම්බ කළා මුදල්. අද ඒ මුදල් ටික බදාගෙන ඉන්නවා. සමහරු බලය බදාගෙන ඉන්නවා සමහරු මුදල් බදාගෙන ඉන්නවා. නමුත් පාලිත තෙවරප්පෙරුම කවදාවත් මුදල් බදාගෙන හිටියෙත් නෑ, බලය බදාගෙන හිටියෙත් නෑ. බදාගත්තෙ ජනතාව. ඒක කවදාවත් අතඅරින්නේ නෑ. මගේ මිනිස්සු ගැන කියනවා නම් මම හිර ගෙදර ගියේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට. මම හිරෙන් එළියට ආවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට. මම මේ රටේ නියෝජ්‍ය ඇමැතිකම් දෙකක් දැරුවා ඒකෙන් වැඩක් කරගන්න බැරි වුණාට. ඒ ඔක්කොම වුණේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් ඡන්දේ ඉල්ලපු නිසා. මම බදාගෙත්තේ ඒ මිනිස්සුන්ව. මම බදාගත්ත මිනිස්සුන්ව මම අතඅරින්නේ කවදා හරි දවසක අර ඔයාට මතක ඇති රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ අර ඉන්දියාවෙන් ආව අරිට්ටකීවන්ඩුක කියන පූජකයා රජතුමාට අපල තියෙනවා කියලා රජු රවටලා යාගයක් කෙරුවා. එතකොට මිනිස්සු ඇහුවා මේකේ අවසානයක් දකින්නේ කොහෙමද කියලා. එතකොට අර පූජකයා කිව්වා රාජා හෝ මාහෝ ගංගා හෝ කියලා.

අන්න ඒ වගේ මම කියන්නේ එක්කෝ කොරෝනා ඉවරවෙයි. නැත්තං මං ඉවර වෙයි. ඇත්තටම මොන විදියේ රාජ්‍ය මර්දනය ආවත්, මොනතරම් නිලධාරින්ගේ බාධක ආවත් ඒ අය දේශපාලන හයිය අරන් මර්දනය කළත් පාලිත තෙවරප්පෙරුම මේ වැඩේ අත අරින්නේ නෑ. ඒ වගේම කොරෝනා ඉවර උනත් මම හිටියොත් ජනතාවට සහන සළසන එක නවත්තන්නෙත් නෑ. තනතුරු වරප්‍රසාද අවශ්‍ය නැති කරලා නවත්තන්න පුලුවන් කෙනෙක් නෙමෙයි මම. අදටත් මේ කිසි දේකට මන්ත්‍රී කෙනෙක් කියලා ලැබෙන වරප්‍රසායක් නෑ. අඩුම තරමින් ඇඳිරි නීති බලපත්‍රයක් ගන්න මන්ත්‍රීවරයෙක් නොවන කෙනෙක්ට තියෙන හැකියාව මට නෑ. මම ඒ අයට වඩා මහන්සි වෙන්න ඕනේ ඇඳිරි නීති බලපත්‍රයක් ගන්න. ඉතින් අර කලින් කිව්වා වගේ මගේ අධිෂ්ඨානය මිනිස්සුන්ට සහන සළසන එක වගේම ඒ මිනිස්සු ඉන්න තැනින් උඩට ගන්න වෙහෙසෙන එක. ඒකට දුටු ගැමුණු රජතුමාගේ උදාහරණය අනුව මට මේ ටික කරන්න ශක්තිය ලැබුණා වගේම ශක්තිය ලැබෙයි.

සාකච්ඡාව – සරෝජ් විමලබන්දු

Rivira Ads
To Top