,
Covid-19

ශ්‍රී ලංකාවේ අවසන් පැය 72 තුළ නව ආසාදිතයින් 105ක්

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 24 සිකුරාදා පස්වරු 8 වන විට 415 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අප්‍රේල් 24 දිනය තුළ පමණක් දැනට නව ආසාදිතයින් 47 දෙනෙකු තහවුරු වීමත් සමගයි. එය ශ්‍රී ලංකාවේ දිනකදී හමුවූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි.

අප්‍රේල් 22 වන දා පොළොන්නරුවෙන් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සෙබළා සේවයේ නියුතු වැලිසර නාවික කඳවුරේ සේවය කරන තවත් නාවික හමුදා සෙබලෙකු ආසාදිත බව අප්‍රේල් 23 දහවල් අනාවරණය වූ අතර එහිදී ඇති වූ සැකය මත වැලිසර නාවික කඳවුරේ විශාල පිරිසක් පීසීආර් පරීක්ෂණයකට ලක් කර තිබුණා. ඒ අනුව අප්‍රේල් 23 දිනය අවසන් වන විට නාවික සෙබළුන් 30 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. මේ අතර අප්‍රේල් 24 දින වාර්තා වූ ආසාදිතයින් 46 දෙනාගෙන් 30ක් වැලිසර කඳවුරේ සේවය කළ නාවික සෙබළුන් බව අනාවරණය වුනා. ඒ අනුව මේ වන විට වැලිසර නාවික කඳවුරෙන් හමුවූ ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 60ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ වන විටත් වැලිසර නාවික කඳවුර සම්පූර්ණයෙන්ම හුදකලා කර ඇති අතර නිවාඩු ලබා නිවෙස් බලා ගොස් සිටි සියළුම සෙබළුන් නැවත කඳවුර වෙත කැඳවා ඇති බැවින් ඔවුන්ගේ ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස යුධ හමුදාපතිවරයා ඉල්ලා සිටී.

මීට සුළු මොහොතකට පෙර මෙරට 415 වැනි කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වී ඇත. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගර්භණී කාන්තාවක් මෙලෙස ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියා. එමෙන්ම එම ගර්භණී කාන්තාවගේ කුසේ සිටි බිළිඳා මිය ගොස් ඇති බව ද ඔහු අනාවරණය කළා. බිළිඳාට වෛරසය වැළඳී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මේ වන විට සමස්ථ ආසාදිතයින් අතුරින් 109 දෙනෙකු සුවය ලබා ඇති අතර 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ලෙස රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රමාණය 299ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය මෙතෙක් වාර්තා වූ වැඩිම සක්‍රීය ආසාදිතයින් ගණනයි. මේ අතර වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ප්‍රමාණය 183ක් බවද වාර්තා වෙනවා.

මේ අතර අප්‍රේල් 22 නව ආසාදිතයින් 20 දෙනෙකුද අප්‍රේල් 23 දින නව ආසාදිතයින් 38 දෙනෙකුද හා අප්‍රෙල් 24 දින මේ වන තෙක් නව ආසාදිතයින් 47 දෙනෙකුද වාර්තා වීමත් සමඟ අවසන් පැය 72 තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිනකදී සිදුකරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණයද රජය විසින් පෞද්ගලික රෝහල්වලද සහය ලබාගෙන ඉහළ දමා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියා.

Rivira Ads
To Top