කොවිඩ්-19

සක්‍රීය ආසාදිතයින් ගණන 297 දක්වා පහළට

Photo © ISHARA S. KODIKARA / AFP

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 25 සෙනසුරදා පස්වරු 4 වන විට 420 ලෙස සටහන් වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. ඒ අප්‍රේල් 24 දිනය තුළ පමණක් නව ආසාදිතයින් 52 දෙනෙකු තහවුරු වීමත් සමගයි. එය ශ්‍රී ලංකාවේ දිනකදී හමුවූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි.

අප්‍රේල් 24 වන වාර්තා වූ ආසාදිතයින් 52 දෙනාගෙන් 30 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වන අතර 5 දෙනෙකු නිවාඩු ලබා නිවෙස්වල(කුරුණෑගල පොල්ගහවෙල උඩපොළ ප්‍රදේශයෙන්, රත්නපුර හිදිල්ල කන්ද ප්‍රදේශයෙන්, කුරුණෑගල කීනියා පොළ ප්‍රදේශයෙන්, බදුල්ල ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ ප්‍රදේශයෙන්, මහනුවර දඹුල්ල අත‍බෝධි වැව ප්‍රදේශයෙන්) සිටි නාවික හමුදා සාමාජිකයින් වේ. තවත් 11 දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එක් ආසාදිතයෙකු මරදාන ප්‍රදේශයේ පදිංචි සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගර්භණී කාන්තාව වන අතර තවත් ආසාදිතයෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු බවද සඳහන්. ඒ අනුව මෙතෙක් ආසාදිත වී ඇති නාවික හමුදා සාමාජිකයින් ගණන 65ක් වේ.

ඒ අනුව අප්‍රේල් 25 පස්වරු 4 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනය තුළ ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබීමත් සමගයි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 297ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 247ක් බවද සඳහන් වේ.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. කොවිඩ් -19 ව්‍යාප්තිය අවම කර ගැනීමට ජනතාව වෙනුවෙන් සිදු කරන කටයුතුවලදීත්, රෝගීන් හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීමේදීත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එම ප්‍රකාශය මගින් යලි අවධාරණය කර සිටිනවා.

මෑත කාලීන සිදුවීම් විශ්ලේශණය කල විට එහි අවශ්‍යතාව පැහැදිලිව පෙන්නුම් කෙරෙන බවද එහි සඳහන්. පුද්ගලයින් සමග කටයුතු කිරීමට පෙර ඔවුන්ගෙන් රෝග ආසාදනය වීමට ඇති හැකියාව ගැන නිසි තක්සේරුවක් කිරීමත් රෝග ආසාදිතයින් විය හැකි අය සහ එසේ නොව අය වෙන් වශයෙන් තැබීමට ඇති පහසුකම් දියුණු කර ගැනීමත්, ඉන් අනතුරුව කාර්ය මණ්ඩලයත් සෙසු පුද්ගලයින්ටත් ආසාදනය සිදු නොවන පරිදි ආසාදිත යැයි සැක කරන පුද්ගලයා සම්බන්ධ කටයුතු කලමණාකරණයත් ඉතා වැදගත් වන බවද ඔහු කියා සිටිනවා. උදාහරණ ලෙස ඊයේ සිදුවීමක් සැලකිය හැකි බව පවසනවා. මරදාන ප්‍රදේශයේ කාන්තාවක ද සොයිසා කාන්තා රෝහලට ඇතුලත්වීමේ සිටම ඇය පහල කල කොවිඩ් -19 රෝග ලක්ෂණ පිලිබදව රෝහල් කාර්ය මණ්ඩලයේ අවධනය යොමු වී ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටින්නේ එම කාන්තාව ලබාදී තිබුනේද සිය පදිංචි ලිපිනයද නොවන බවයි. කාන්තාවගේ, ලිපිනය පවා සොයා ගත්තේ රෝහල් කාර්‍ය මණ්ඩලයේ දැඩි කැපවීම මත බවද ඔහු පවසනවා.

එම දැඩි අවධානය නිසාම රෝහල තුළ සූදානම් කොට තිබූ විශේෂ වාට්ටුවට අදාළ රෝගියා ඇතුලත් කර තිබේ. එහිදී PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් එම කාන්තාව නිශ්චිත ලෙසම කොවිඩ් -19 ආසාදිතයෙකු බව තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටිනවා. අදාළ කාන්තාවට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ සියලු අවස්ථාවලදී කාර්ය මණ්ඩලය පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) පැලඳ සිටීමෙන් ඇති වීමට අවදානම් තත්වයකින් මිදී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම සිදුවීමේදී රෝහල් කාර්ය මණ්ඩලයේ නිසි සුපරීක්ෂාව හා කැපවීම නිසාම කාර්ය මණ්ඩලයට හා පිටස්තර පුද්ගලයින්ට ආසාදනය වීමේ අවදානමද අවම කර ගැනීමට හැකිවූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කියා සිටී. එම කැපවීම නිසා ආසාදිත බව කලට වේලාවට හදුනා ගැනීමෙන් තව බොහෝ දෙනෙකුට, ආසාදනය වීමද වලක්වා ගැනීමට හැකි වූ බවද ඔහු පෙන්වා දෙයි.

Rivira FB Group Rivira Youtube
To Top