,

විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම රට තුළ වෛරසය මර්දනය කිරීමෙන් පසුවයි, විදෙස් ශ්‍රමිකයින්ට රජයෙන් නිවේදනයක්

අවසන් යාවත්කාලීන කිරීම (අප්‍රේල් 26 පෙරවරු 10.15ට)

විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජයේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එම වැඩපිළිවෙළ ඔස්සේ ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ විදේශයන්ගේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයින්ට බව සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා කියා සිටියා. එහෙත් විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන්ද ඒ සඳහා විශාල ලෙස ඉල්ලීම් ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන්ද රජය අවධානය යොමු කරන බව මීට පෙර ප්‍රකාශ කෙරුණා.

නමුත් දිනයක් නොමැති නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ රැකියා නිකුත් කාර්යංශය පවසන්නේ “ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් තුරන් කිරීමෙන් පසුව, විදේශ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් සළකා බලනු ලබන” බවයි. එතෙක් ඔවුන්ට සුරක්ෂිතව තමන් ඉන්නා රටේ රජය ලබාදෙන උපදෙස් පිලිපදිමින් සිටින ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ගුවන් යානයේ දී රෝගියෙක් සිටියොත් හෝ ගුවන්තොටුපළට පැමිණීමේ දී රෝගය ආසාදනය වීමේ ඉඩක් ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් රිවිර කළ සොයා බැලීමකදී අදාළ නිවේදනය මාර්තු 28 දින විදේශ සේවා නිකුත් කාර්යංශය සිය ෆේස්බුක් පිටුවක එක පළ කර තිබෙන බවද සොයා ගැනීමට හැකි විය. අදාළ නිවේදනයට මෙතැනින් පිවිසිය හැකි අතර රජයේ ආයතනයක් විසින් නිකුත් කරන විශේෂ නිවේදනයන් දිනයක් නොමැතිව නිකුත් කිරීම විමතියට කරුණක්.

http://www.slbfe.lk/file.php?FID=640

ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

“කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත. ඒ අනුව රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමට රජය විසින් ගත් එක් පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන්ම නවතා තිබේ. රජය විසින් ගෙන ඇති මෙම පියවරයන්ට අනුගතවීම හා ඊට සහය දීමක් වශයෙන් විදේශ රැකියාවල නිරතව සිටින්නන්, තමන් සේවය කරන විදේශ රටේ සුරක්ෂිතව තවදුරටත් රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් තුරන් කිරීමෙන් පසුව, විදේශ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් සළකා බලනු ලැබේ. එසේම ඔබ සේවය කරන රටේ රජය විසින් දෙන උපදෙස් අනුව මේ මොහොතේ සුරක්ෂිතව රැඳී සිටීම වඩාත් සුදුසු වේ. තවද ඔබට යම් ගැටළුවක් වේ නම් ඔබ සේවය කරන රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වී අවශ්‍ය උපදෙස් ලබාගන්න.

දැනටමත් විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින්ගේ පවුලේ සාමාජිකයින් ඉල්ලා සිටින අන්දමට ඥානීත් මෙරටට ගෙන්වා ගැනීම අපහසුය. ඒ මන්ද ශ්‍රී ලංකා රජය තවදුරටත් කොරෝනා වෛරසය තුරන් කිරීමට ගන්නා උත්සාහය නිසා විදේශ රටවල සිට සියලුම දෙනා පැමිණීම රජය විසින් සම්පූර්ණයෙන්ම නවතා තිබේ. තවද ගුවන් මගින් ලංකාවට පැමිණීමට ඔබ උත්සාහ කරන්නේ නම්, ඔබ ගමන් කරන ගුවන් යානයේ කොරෝනා රෝගියෙකු සිටියහොත් එම රෝගය ඔබටද වැළඳීමට ඉඩ ඇත. එසේම මේ වන විට තමන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීම නිසාද මෙම රෝගය ඔබට වැළඳීමේ අවදානමක් පවතී. තවද අපගේ මෙම උපදෙස් පිළිපැදීමෙන් ඔබ කරන සේවය අගය කරමි.

විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින් සම්බන්ධව අදාළ රටවල තානාපති කාර්යාල හරහා නිරන්තරව කාර්යංශය අවධානය යොමු කරන බැවින් අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද අවාධරණය කෙරේ.

සභාපති – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය”

ඔබගේ ප්‍රතිචාර rivira@rivira.lk හරහා යොමු කළ හැක.

Rivira Ads

2 thoughts on “විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම රට තුළ වෛරසය මර්දනය කිරීමෙන් පසුවයි, විදෙස් ශ්‍රමිකයින්ට රජයෙන් නිවේදනයක්

  • April 26, 2020 at 7:09 pm
    Permalink

    අපි මැරුණාමද ලංකාවට ගෙන්නගන්නේ?

  • April 27, 2020 at 2:25 am
    Permalink

    මා කටාර් රාජ්‍යයේ සේවය කරමි,මා දැනට ලංකාවට පැමිණිමට අදහසක් නැත,එනමුත් මෙහි වයස අවුරුදු 20 ත් 30ත් අතර අවිවාහක දරුවන් ඇත,තවද කුඩා දරුවන් සිටින පියවරුන් ඇත,ඔවුන් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට කාරුනික වන්න,කොරෝනා වසංගතය පැමිනීමට පෙර සිට සේවා ආයතන වලින් සමහරුන්ට වැටුප් ගෙවා නැත,ඔවුන් කෙසේ ජීවත් වන්නේද යන්න පිලිබඳව කිසිවෙකුත් මේ වන විට තානාපති කාර්‍යාල මට්ටමින්වත් රජයක් වශයෙන් වත් ශ්‍රී ලංකා රජය සොයා බලා නැත,මා මේ සදහන් කරන්නේ කටර්වල තිබෙන සැබෑ තත්වයයි,ඕනෑම අයෙකුට පිලිතුරු දීමට මා සූදානමින් සිටිමි,

Comments are closed.