,
Covid-19

ඇඳිරි නීතිය යළි පනවයි, නිවසින් බැහැරට යා හැක්කේ හඳුනුම්පතේ අවසන් අංකය අනුව

පොලීසිය අප්‍රේල් 25 පෙරවරු 1.25ට නිකුත් කළ ඇඳිරි නීතිය පැනවීම වෙනස් කර තිබෙනවා. ඒ ජනාධිපති මාධ්‍ය අංශය අප්‍රේල් 25 පස්වරු 5.38ට නිකුත් කළ අංක 73 දරන නිවේදනය මගිනි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි 04 සඳුදා අළුයම 5.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ. මැයි 01 සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙ අංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරනු ලැබේ.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතනසේම පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන,එළවළු, මාලු සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාමට අවසර ඇත.

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ප්‍රධානීන්මැයි 04 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්නලබන සතිය තුළ සැලසුම් කළ යුතුය.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළුරාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණි. යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාවපමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය.

සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන ලෙස නියම කෙරේ‍. එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුත්තේ කුමන සේවකයන් ද, නිවසේ සිට වැඩකළයුත්තේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේඅභිමතය අනුව තීරණය කිරීමට පිළිවන.

කවරෙකු හෝ නිවසින් බැහැරට යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා පමණි. ඒ සඳහා ද පාගමනින් ළඟා විය හැකි ආසන්නතම වෙළඳසැල තෝරාගත යුතුය.

අත්‍යවශ්‍ය දෑ සඳහා ද නිවසෙන් බැහැරට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය මතය පදනම්වය.

ඒ අනුව සඳුදා දිනයේ නිවසෙන් බැහැරට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසානය අංකය 1 හෝ 2 නම් පමණි. අඟහරුවාදා දිනයේ නිවසෙන් බැහැරට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසානය අංකය 3 හෝ 4 නම් පමණි. බදාදා දිනයේ නිවසෙන් බැහැරට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසානය අංකය 5 හෝ 6 නම් පමණි. බ්‍රහස්පතින්දා දිනයේ නිවසෙන් බැහැරට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසානය අංකය 7 හෝ 8 නම් පමණි. සිකුරාදා දිනයේ නිවසෙන් බැහැරට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසානය අංකය 9 හෝ 0 නම් පමණි.

Rivira Ads
To Top