කොවිඩ්-19

පිට පිට දින 3ක දී ආසාදිතයින් 30ත් ඉක්මවයි, අදත් 32ක්, සමස්ථය 452 දක්වා ඉහළට

අවසන් යාවත්කාලීන කිරීම (අප්‍රේල් 25 පස්වරු 09.55ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 25 පස්වරු 9.55 වන විට 452 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 25 දිනය තුළ දැනට ආසාදිතයින් 32 දෙනෙකු තහවුරු වීමත් සමගයි. දිනය තුළ 9 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

අප්‍රේල් 22 දින ආසාදිතයින් 20 දෙනෙකුත් අප්‍රේල් 23 ආසාදිතයින් 38 දෙනෙකුත් අප්‍රේල් 24 ආසාදිතයින් 52කුත් හා අප්‍රේල් 25 පස්වරු 9.55 වන විට ආසාදිතයින් 32 දෙනෙකුත් ලෙස පිට පිට දින 4කදී දිනකට වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව 20 ඉක්මවා තිබෙනවා. තවද අවසන් දින තුනේ දී පිට පිට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 30 සීමාවද ඉක්මවා තිබෙනවා.

අප්‍රේල් 25 වන වාර්තා වූ ආසාදිතයින් 32 දෙනාගෙන් 13 දෙනෙකු ගැන තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගෙන් 7 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති අතර සිව් දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇති අතර වැලිසර කඳවුරේ සේවය කර නිවාඩු ලබා ගිය නාවික සෙබලෙකු මොනරාගල රෝහලෙන්ද වාර්තා වී තිබෙනවා. දිනය තුළ වාර්තා වූ රෝගින් අතරට කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ 12 හැවිරිදි පිරිමි දරුවෙකුද ඇතුළත්. ඒ අනුව මෙතෙක් ආසාදිත වී ඇති නාවික හමුදා සාමාජිකයින් ගණන 70ක් වේ.

ඒ අනුව අප්‍රේල් 25 පස්වරු 9 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 118කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 327ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 247ක් බවද සඳහන් වේ.

අප්‍රේල් 25 පෙරවරු 10 වන විට සිටි සක්‍රීය ආසාදිතයින් 297 දෙනාගෙන් 103 දෙනෙකු IDH රෝහලේ ද 43 දෙනෙකු වැලිකන්ද රෝහලේ ද 77 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද, ඉරණවිල රෝහලේ 19 දෙනෙකුද, 55 දෙනෙකු කාත්තන්කුඩි මූලික රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටී.

Rivira FB Group Rivira Youtube
To Top