දේශීය පුවත්

නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීමේ අපේක්ෂාවක් නැහැ – යුද හමුදාපති

කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනිමේ අපේක්ෂාවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ අප්‍රේල් 27 වන දා ‘දෙරණ ‘ මාධ්‍යයේ වැඩසටහනකට සහභාගි වෙමින් ය.

නමුත් මේ වන විට, ත්‍රිවිධ හමුදවේ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර නැවත
සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙන බැවින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පැමිණි පසු නියමිත ශාරිරික දුරස්ථභාවය පවත්වා ගැනීමට කඳවුරු තුළ ඉඩ පහසුකම් මදි වුවහොත් ඒ සඳහා එම කඳවුරු අසල ඇති පාසල් භාවිත කිරීමට ඉඩ ලබා දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව ඒ මහතා එහිදී පැවසුවේ ය.

ඒ අනුව, ලබාදිය හැකි පාසැල් කුමක්ද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිවරයා දැනුම් දී ඇති බවත් එම පාසැල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වා ගෙන යාමට කිසිසේත් කටයුතු නොකරන බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේ ය.

කෙසේ වෙතත්, සියලු හමුදා සාමාජිකයින් කඳවුරු තුළම රඳවා ගැනීමට ගත හැකි පියවර ගන්නා බවත් එසේ නොහැකි වන අවස්ථාවල පමණක් ඉහත විකල්පයට යාමට සිදු වන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top