දේශීය පුවත්

රජයේ විශ්වවිද්‍යාල 3ක පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා රසායනාගාර ආරම්භ කිරීමේ සූදානමක්

කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන PCR පරීක්ෂණ සඳහා රසායනාගාර පවත්වා ගැනීම සඳහ කොළඹ, කැළණිය හා පේරාදෙණිය යන රජයේ විශ්වවිද්‍යාල මඟින් ඉල්ලීමක් සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එසේම, දැනටමත් අප්‍රේල් මස 10 වන දින සිට ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයේ ජෛව වෛද්‍ය විද්‍යාගාරවල ද පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරේ.

මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරට පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර එහිදී දිනකට පී.සී.ආර්.පරීක්ෂණ දහසක් පමණ සිදුකිරීමට සැලසුම් කර ඇත.

කොළඹ පුද්ගලික රෝහල් කිහිපයක් මගින් ද සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන සාම්පලවල පී.සි.ආර්.පරීක්ෂණ සිදුකරගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

දැනට පී.සී. ආර් පරීක්ෂණ සිදු කිරීමේ උපරිම ධාරිතාව 1200 මට්ටමක පවතින බවත් අවශ්‍යතාවය මත එය ක්‍රමයෙන් ඉහළ නැංවීමට කටයුතු සිදු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. අප්‍රේල් මස 26 වන දින පස්වරු 5.00න් අවසන් වූ පැය 24 තුළ දී පී.සී.ආර් පරීක්ෂණ 1075ක් සිදු කළ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top