විදේශ

බ්‍රිතාන්‍ය අගමැති නැවතත් රාජකාරියට

කෝවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් සති තුනකට පසුව අප්‍රේල් මස 27 වන සඳුදා දිනයේ දී රාජකාරියට වාර්තා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රාජකාරියට වාර්තා කිරීමෙන් අනතුරුව කොරෝනා වෛරසය පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීමකට ද පෙරවරුවේ දී ඔහු සහභාගී වී ඇත.

කොරෝනා වෛරසය වැළඳී අප්‍රේල් මස 05 වන දා සිට සතියක් රෝහල්ගතව සිටි බ්‍රිතාන්‍ය අගමැතිවරයා දින තුනක් දැඩි සත්කාර ඒකකයේ ද පසු විය. එමෙන්ම, රෝහලේ සිටි කාලය තුළ දී ඔහුට ශ්වසන පහසුව සඳහා ඔක්සිජන් ලබා දීමට ද සිදු විය.

අගමැතිවරයා අප්‍රේල් 12 වනදා රෝහලෙන් පිට වූ පසු ඔහු ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වූ අතර ඔහු සඳහන් කළේ ඔවුන් එම කැපවීම තමන් වෙනුවෙන් සිදු නොකළා නම් ඔහුගේ තත්ත්වය මිට වඩා වෙනස් වීමට ඉඩ තිබූ බවයි.

සුවය ලද පසු වෛද්‍ය උපදෙස් මත ඔහු රාජකාරී කටයුතු කිසිවක් සිදු කර නොමැති වුවත් පසුගිය සතියේ දී අගමැතිවරයා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා බ්‍රිතාන්‍යයේ රැජිනට ද දුරකථනයෙන් අමතා සුවදුක් විචාලීම පිළිබඳව තම ස්තූතිය පුද කළ අතර අමාත්‍යවරුන් මුණගැසී බ්‍රිතාන්‍ය කොරෝනා වසංගතය සඳහා ඉදිරියේ දී දියත් කිරීමට බලාපොරොත්තු වන කටයුතු පිළිබඳව ද සාකච්ඡාවන් සිදු කළේය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top