කොවිඩ්-19 වෛරසයේ පැතිරීමත් සමග අදාළ වෛරසය වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සාමාජිකයින් 180 දෙනෙකුට වැඩි පිරිසකට ආසාදනය වී ඇති බව අප්‍රේල් 27 සවස පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුධ හමුදාපතිවරයා කියා සිටියා.
මේ අතර එක් වාර්තාවක සඳහන් වූයේ යුධ හමුදා නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත් ඔහුගේ බිරිඳ වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරිණියක ලෙස සේවය කරන බවත් යුධ හමුදාපතිවරයා පැවසූ සිදුවීමකි. ඒ සම්බන්ධයෙන් බොහෝ මාධ්‍ය ආයතන වෙතින් එය වාර්තා වූයේ අදාළ නාවික හමුදා නිලධාරිණියගෙන් යුධ හමුදා නිලධාරියාට වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවකි. නමුත් මේ වන විට වාර්තා වන්නේ අදාළ නාවික හමුදා නිලධාරිණියට එම වෛරසය ආසාදනය වී නැති බවයි.
අදාළ නිලධාරිණියගේ බව පැවසෙන ෆේස්බුක් ගිණුමක සටහනක් තබමින් ඇය කියා ඇත්තේ වෛරසය තමාගෙන් සැමියාට ආසාදනය වී ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි. තම සැමියා සීදූව යුධ හමුදා කඳවුරේ සේවය කරන අතර ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව තමන්ට වෛරසය ආසාදනය වී නැති බවත් තහවුරු වී ඇති බව ඇය එම ෆේස්බුක් සටහන ඔස්සේ කියා තිබුණා. ඇය එම සටහන මගින් චෝදනා කර තිබුනේ වගකීම් විරහිතව වාර්තා කරන මාධ්‍ය වෙතයි. ඒ හේතුවෙන් ඇය අසල්වැසියන්ගෙන් පවා දැඩි පීඩාවකට පත් වූ බව එම සටහන මගින් කියා තිබුණා.
නමුත් විශාල ලෙස ප්‍රතිචාර ලැබෙමින් තිබූ එම සටහන පැය 2කට පමණ පසුව අදාළ ෆේස්බුක් ගිණුමෙන් ඉවත්ව තිබීම ද විශේෂත්වයක්. ඒ හේතුවෙන් එම පළ කිරීම මෙහි පළ නොකිරීමට අපට සිදුවුනා.

